ඉන්දීය විපක්ෂය වීදි බසී



විපක්ෂ නායක රාහුල් ගාන්ධිට, වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමට එරෙහිව ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් නවදිල්ලි අගනුවර විජේ චොක් චතුරස්‍රයේ සිට ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපතිභවන් දක්වා විරෝධතා පා ගමනක නියැලුණේය.

රාහුල් ගාන්ධි නායකත්වය දෙන්නේ ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්‍රස්’ පක්ෂයටය. විරෝධතා පා ගමනට ‘කොංග්‍රස්’ පක්ෂය සමඟ සන්ධානගතව සිටින සෙසු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල සාමාජිකයෝ එක්ව සිටියහ.

කොංග්‍රස් පක්ෂය පෙන්වා දී ඇත්තේ, සුරාට් අධිකරණය රාහුල් ගාන්ධිට ලබා දුන් තීන්දුව දේශපාලන පළිගැනීමක් ලෙසය. එවැනි නඩු තීන්දුවලින් රාහුල් ගාන්ධි යටපත් කළ නොහැකි යැයි කොංග්‍රස් පක්ෂය වැඩි දුරටත් පැහැදිලි කර ඇත. කෙසේ නමුත් රාහුල් ගාන්ධි, මෙම සිර දඩුවමට යටත් වීමට සිදුවී, පාර්ලිමේන්තුවට සහභාගී වීමට නොහැකි වුවහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් හිමිවූයේ 2019 වසරේ මැතිවරණ රැළියකදී ‘මෝදි වාසගම ඇති හැමෝම හොරු’ යනුවෙන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වරදකරු වීමෙනි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි වරදකරු කළේ ගුජරාටයේ සුරාට් අධිකරණයයි.

රාහුල්ගේ එම ප්‍රකාශයට, එරෙහිව එවකට ගුජරාට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පුර්නේෂ් මෝදි විසින් මෙම සාපරාධි අපහාස නඩුව ගොනු කරනු ලැබ තිබුණි. පුර්නේෂ් මෝදි සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කිසිදු ඥාති සම්බන්ධයක් නැතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රාහුල් ගාන්ධිගේ සිර දඬුවම දින 30 කට අත්හිටුවමින් සුරාට් අධිකරණය ඇප ලබා දුන් අතර, ඔහුට අභියාචනා කිරීමට අවස්ථාව ලබා දීම සඳහා දඬුවම දින 30 ක කාලයකට අත්හිටුවා තිබේ.

2019 දී රාහුල් ගාන්ධි, මෙසේ ‘මෝදි’ වාසගම විචෙනය කළේ නිරව් මෝදි සහ ලලිත් මෝදි සිහිපත් කරමිනි. නිරව් මෝදි සහ ලලිත් මෝදි ව්‍යාපාරිකයන් වන අතර ඔවුන්ට දූෂණ චෝදනා එල්ල වී තිබේ. නිරව් මෝදි සහ ලලිත් මෝදි ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සම්බන්ධයක් නොමැත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS