ඇමෙරිකා ජනපති ට්‍රම්ප් හදිසියේ ඇෆ්ගනිස්තානයට



තුතිපුදකිරීමේ දිනයට සමගාමීව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රහසේ ඇෆ්ගනිස්තානයට පැමිණ, ඇෆ්ගනිස්තානයේ බග්රාම් ගුවන් කඳවුරේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් හමුවී, ඔවුන්ගේ සුවදුක් විමසා බැලුවේය.

මෙය ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පළමු ඇෆ්ගන් සංචාරයයි. ජනපති ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයට පැමිණෙන බව රහසක් ලෙස තබා ගැනුණේ ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින් සතුරු ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පැවැති බැවිනි.

ඇමෙරිකා සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීමෙන් පසු යළිත් වරක් තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා කිරීම කෙරහි තමන් අවධානය යොමු කර ඇති බව ජනපති ට්‍රම්ප් පැවැසීය. මීට දින කීපයකට පෙර තලේබාන් සංවිධානය සහ ඇමෙරිකාව අතරේ සිරකරු හුවමාරුවක් සිදුවිය. එය සිදුවූයේ සාම සාකච්ඡාවලට පිවිසුමක් ලබා දෙමින් බව ජනපතිවරයා පැහැදිලි කළේය.

පසුගිය සැප්තැම්බරයේ ඇෆ්ගන් ජනාධිපතිවරණය පැවැත්විණි. එම අවස්ථාව වෙද්දී, ජනපති ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි, ඇමෙරිකන් නියෝජිතයන් සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ නියෝජිතයන් අතරේ සාම සාකච්ඡා පැවැත්වෙමින් තිබුණි. එම සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ඇෆ්ගන් රජයේ මැදිහත් වීමකින් තොරවය.

සාකච්ඡා පැවැත්වූයේ කටාර් රාජ්‍යයේ දෝහා හි පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය හරහාය. තලේබාන් දේශපාලන අංශයේත් සන්නද්ධ අංශයේත් බොහෝ සාමාජිකයන් සාම කතා සාර්ථක කර ගැනීමට උත්සහ කළ නමුත්, ඊට විරෝධය දැක්වූ තලේබාන් කල්ලි දිගින් දිගට ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන නගරවල බෝම්බ පුපුරුවන්න විය. අවසන් සාකච්ඡා සඳහා තලේබාන් ප්‍රධානීන් සහ ඇෆ්ගන් ජනපති ඇතුළු ඇෆ්ගන් රාජ්‍ය නියෝජිතයන් ඇමෙරිකාවේ ‘කෑම්ප් ඬේවිඞ්’ කඳවුරට ගෙන්වා ගැනීමට ද ජනපති ට්‍රම්ප් සූදානම් විය.

විරෝධය දැක්වූ කල්ලි දිගින් දිගටම කළ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සාම කතා නැවැත්වීමට ට්‍රම්ප් අණ දුන්නේ එවිටය. දැන් යළිත් වරක් සාම සාකච්ඡා සඳහා ඇමෙරිකාව සූදානමින් සිටින බව සෙබළුන් අමතමින් ට්‍රම්ප් කරුණු කාරණා පැහැදිලි කළේය. ඇමෙරිකන් සොල්ලාදුවන් හමුවී, තුතිපුදකිරීමේ දිනය වෙනුවෙන් භෝජන සංග්‍රහයකට ද එක් වුණු ජනපති ට්‍රම්ප් ඉන්පසු ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී හමුවී සාකච්ඡා පැවැත්වීය. එහිදී ද ඇෆ්ගන් සාම වැඩපිළිවෙළ ගැන දෙදෙනා අතරේ සාකච්ඡා වුණු බව පැවැසෙයි.

2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණු අල් කයිඩා ප්‍රහාරයෙන් පසු ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ පැවැති තලේබාන් පාලනය පෙරළා දමමිනි. වසර 18 ක් තිස්සේ තලේබාන්වරුන් සමඟ ඇමෙරිකන් හමුදා සටන් වදින අතර, අද වනවිට ඇෆ්ගනිස්තානයේ රඳවා තැබෙන්නේ ඇමෙරිකන් සොල්දාදුවන් 13,000 ක් පමණය.

කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS