සහයෝගීතා පුළුල් කරගන්න චීනය සූදානම්



යුරෝපා රටවල් සමඟ සහයෝගීතා පුළුල් කර ගන්න චීන ජනාධිපති ෂී ජින්පින් උත්සාහ ගන්නා බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

චීන ජනාධිපති ෂී ජින්පින්, මේ සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල් සමඟ ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කළ බව ද චීන පුවත් සේවා වාර්තා කර තිබේ.

ගෝලීය අභියෝග හමුවේ, ඒවාට මුහුණ දෙමින්, ඒවා ජය ගැනීමට සහයෝගයෙන් කටයුතු කළ යුතු බව චීන ජනාධිපතිවරයා ප්‍රංශ සහ ජර්මන් නායකයන්ට පැහැදිලි කර තිබේ. යුරෝපා කලාපයේත්, යුරෝලා සංගමයේත් ප්‍රබලයන් දෙදෙනා ලෙස සැලකෙන්නේ ප්‍රංශය සහ ජර්මනියයි.

ජාත්‍යන්තර කටයුතුවලදී වඩාත් ක්‍රියාකාරී භූමිකාවක් රඟ දැක්වීමට, උපායමාර්ගික ස්වාධීනත්වයක් ලබා ගැනීමට මෙන්ම චීන සමාගම් සඳහා සාධාරණ, විනිවිද පෙනෙන හා අපක්ෂපාතී පරිසරයක් සකස් කරදීම කළ හැකි වන්නේ යුරෝපා රටවලට යැයි චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඊට අමතරව ජාත්‍යන්තර වෙළඳාම, දේශගුණික ආරක්ෂාව සහ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් තිදෙනා අතරේ සාකච්ඡා කෙරුණි.

'කොවිඩ් 19' වයිරස වසංගතය හමුවේ ලෝකය එක හා සමානව මුහුණ දී ඇති අර්බුදය ගැනත්, එන්නත්කරණ කටයුතු ගැනත් රාජ්‍ය නායකයන් තිදෙනාගේ වැඩි අවධානයක් යොමු වුණු බව පැවැසෙයි.

ඇමෙරිකාව පමණක් නොව යුරෝපා රටවල් හා චීනය අතරේ ද මත ගැටුම් පවතී. චීන සමාගම් බොහොමයකට යුරෝපා රටවල ආයෝජන සඳහා අවස්ථා නොලැබේ.

සම්බාධක පනවා ඇති එම සමාගාම් සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතුව සොයා බලා ආයෝජන සඳහා අවස්ථාව දෙන්නැයි ජනාධිපති ජින්පින්, ප්‍රංශ ජනාධිපතිවරයාගෙන් සහ ජර්මන් චාන්සල්වරියගෙන් ඉල්ලීමක් ද කළ බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.

බෙයිජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS