’ඩෙල්ටා’ ප්‍රභේදයෙන් බේරෙන්න එන්නත ගන්න: මාස්ක් පලඳින්න



'කොවිඩ් 19 ඩෙල්ටා' වයිරස විකෘති ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට නම්, එන්නත් ලබා ගැනීම කළ යුතු බවත්, මුහුණු ආවරණ පැලඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් මෙසේ පවසා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රුසියන් නියෝජිතවරිය වන මෙලීටා වුජොන්වික්ය.

'අද ලෝකයට තර්ජනයක් වී තිබෙන්නේ 'ඩෙල්ටා' සහ 'ඩෙල්ටා ප්ලස්' විකෘති වයිරස ප්‍රභේදවලින්. සමාන්‍ය 'කොවිඩ් 19' වයිරසයෙන්, සෙසු විකෘති ප්‍රභේදවලින් පමණක් නොවෙයි, මේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ද ඔබ ආරක්ෂා වීමට නම් එන්නත් ලබා ගන්න ඕනෑ. මුහුණු ආවරණ පලඳින්න ඕනෑ. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගන්න ඕනෑ. එන්නත ලබා ගෙන සිටිද්දී, ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුණත්, එන්නත නිසා ලැබෙන ප්‍රතිශක්තිය ඔබ මරණයෙන් ගලවා ගනීවි. සංකූලතා ඇති වීම වළක්වා ගනීවි' යැයි මෙලීටා වුජොන්වික්, 'සොලොවීව්' යූ ටියුබ් නාළිකාව සමඟ සජීවීව එක් වෙමින් අදහස් දැක්වූවාය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 'ඩෙල්ටා' ප්‍රභේදය මේ වනවිට රටවල් 80 කට වඩා වැඩි ගණනකට ව්‍යාප්තවී අවසන්ය. ඊට අමතර, එන්නත්කරණය හරහාත්, සෞඛ්‍ය අංශ පැනැවූ නීතිරීති හරහාත් වයිරස ව්‍යාප්තිව සාර්ථකව පාලනය වූ රටවලින් ද 'ඩෙල්ටා' ප්‍රභේදය පැතිරී ආසාදිතයන් වැඩි වීමට පටන් ගෙන තිබේ. ඒ අනුව, මේ වනවිටත් එම රටවල් ද ඇතුළු සෙසු රටවල් බොහොමයක් සංචරණ සීමා පනවා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS