සාම සැලැස්ම යුක්රේනයේ අවධානයට



රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, චීනය සකස් කළ සාම වැඩපිළිවෙළ යුක්රේන රජයට යොමු කර ඇති බවත්, ඒ ගැන යුක්රේන රජය උනන්දුවක් දක්වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට, චීන රජයේ විශේෂ නියෝජිත ලී හුයි තවත් නියෝජිතයන් කණ්ඩායමක් ද සමඟ යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණ සිටී.

යුක්රේන විදේශ ඇමැති දිමිත්‍රෝ කුල්බේගෙන් ලී හුයි ඇතුළු එම නියෝජිත කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක් ලැබුණි. කීව් අගනවුරදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා ඇරම්භ විය. ලී හුයි, යුරේසියානු රටවල රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධ විශේෂඥයෙකි. ඔහු කලක් රුසියාවේ චීන තානාපති ලෙස රාජකාරි කර තිබේ.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2021 පෙබරවාරියේය. ඒ, බටහිර හිතවාදී යුක්රේනය, ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. යුක්රේනය තවමත් උත්සාහ ගන්නේ ​‘නේටෝ’ සාමාජිකයකු වීමටය.

‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් එක් වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. තමන් ඕනෑම පාර්ශිවයක් ඉදිරිපත් කරන සාම වැඩපිළිවෙළට කැමැති නමුත්, එක් බිම් අඟලක් රුසියාවට දීමට කැමැත්තක් නැති බව යුක්රේන රජය වෙනුවෙන් විදේශ ඇමැති දිමිත්‍රෝ කුල්බේ, චීන නියෝජිත ලී හුයි හමුවේ පැහැදිලි කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනය මැදිහත් වී සකස් කළ සාම වැඩපිළිවෙළට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රුසියන් රජය කැමැත්ත පළ කර තිබේ. සාම වැඩපිළිවෙළට දෙපාර්ශ්වය කැමැත්ත පළ කරන්නේ නම්, පළමුවෙන් සටන් විරාමයක් ආරම්භ වනු ඇති බව ද චීනය පැහැදිලි කර තිබේ.

චීන නියෝජිත ලී හුයි සහ පිරිස යුක්රේනයට පැමිණියේ සෙසු යුරෝපා රටවල ද සංචාරය කරමින්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එම රටවල රාජ්‍ය නායකයන්ගේ අදහස් විමසා බලමිනි. පිරිස අවසන් වශයෙන් රුසියාවේ මොස්කව් අගනුවර බලා යෑමට ද නියමිතය.

(රොයිටර්)


RECOMMEND POSTS