ශ්‍රී ලංකාවට ජයපිට ජය !



ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට අද (11) අපූරු දිනයක් විය. ඒ ආසියානු කුසලාන දෙකක සතුට එකම දිනයකදී භුක්ති විඳීමේ දුර්ලභ අවස්ථාව උදා වු බැවිනි.

ශ්‍රී ලංකාවට ඊයේ දින හිමිවූ පළමු ආසියානු ශූරතාවය වූයේ ආසියානු දැල්පන්දු ශූරතාවයයි. සිංගප්පූරුවේදී පැවති 12 වැනි ආසියානු දැල් පන්දු ශූරතාවලියේදී එම ශූරතාව හිමිකරගැනීමට ගයන්ජලී අමරසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම මෙවර ආසියානු ශූරතාවය දිනාගත්තේ හය වැනි වරටය. මීට පෙර 1989, 1997, 2001, 2009 සහ 2018 වසරවල ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත්තේය. මෙවර පැවති 6 වැනි ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් වූයේ එහි සත්කාරක සිංගප්පූරු කණ්ඩායම ලකුණු 63 - 53 ක් ලෙස පරාජයට පත්කරමිනි. ඒ අනුව ආසියානු ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානය තවදුරටත් රැකගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් සමත්ව සිටී.

අවසන් තරගයේ පළමු කාර්තුව අවසන්වන විට,  ලකුණු 19 - 13ක් ලෙසත්, දෙවන කාර්තුව අවසානයේදීත්ලකුණු 27 - 30ක් ලෙසත් සිංගප්පූරු ක්‍රීඩිකාවන් පෙරමුණ ගෙන සිටි අතර, ලකුණු 3 ක් පසුපසින් සිටිමින් දෙවැනි කාර්තුව අවසන් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ තරඟයේ තුන්වැනි කාර්තුවේදී විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරතවූහ. එම කාර්තුව අවසානයේලකුණු 46 - 38 ක් ලෙස පෙරමුණට පැමිණි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් එම ලකුණු පරතරය එලෙසම රඳවාගනිමින් නියමිත කාලය අවසන් වන විට ලකුණු පරතරය ලකුණු 10 දක්වා වැඩිකර ගැනීම සමත්විය.

ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත කාන්තා දැල්පන්දු ලෝක ශූරතාව සඳහාත් ශ්‍රී ලංකාව මෙම තරඟාවලියේ දී සුදුසුකම් ලබාගත්තේය.

මෙම තරඟාවලිය පුරා වඩාත් කැපී පෙනුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වූයේ කණ්ඩායමේ නිත්‍ය පන්දු විදින්නිය වන තර්ජනී ශිවලිංගම් බව කිවහොත් එහි වරදක් නැත. මේ වන විට 42 හැවිරිදි වියේ පසුවුවත් තමන් තවමත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ තීරණාත්මක සාධකයක් බව ඇය මෙවර තරඟාවලියේදීත් පසක් කළාය.

ශ්‍රී ලංකා කණ්ඩායම පෙර පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර මෙන්ම අවසන් තේරීම් සිදුකරන අවස්ථාවේදීත් මෙරට නොසිටි තර්ජනී කණ්ඩායමට තෝරා ගැනීමට ජාතික පුහුණුකාරිනී හයිසින්ත් විජේසිංහ මහත්මිය දැඩි ලෙස උනන්දුවූයේම ඇගේ දායකත්වය කණ්ඩායමට අත්‍යාවශ්‍යම වූ නිසා විය යුතුය.  අඩි 6යි අඟල් 11ක උසින් යුත් ඇය ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව ද වන්නීය.

මැද පෙළ හා ප්‍රහාරක ක්‍රීඩිකාවන් වන නායිකා ගයන්ජලී අමරසිංහ, පන්දු විදින්නියක් මෙන්ම ප්‍රහාරිකාවක් වන උපනායිකා දුලංගි වන්නිතිලක, ගයනි දිසානායක, සේමිණි අල්විස්, චතුරානි ජයසූරිය, දීපිකා අබේකෝන්, හසිතා මෙන්ඩිස්, රශ්මි පෙරේරා, විදූෂා පෙරේරා, මල්මි හෙට්ටිආරච්චි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සෙසු ක්‍රීඩිකාවෝ වෙති. 

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරතාවලියේ ජයග්‍රහණය කරා පැමිණි ගමනේ දී මුහුණදුන් සෑම තරඟයකදීම ඔවුන්ගේ කණ්ඩායම් හැඟීම මැනවින් කැපී පෙනුණු බව ද කිව යුතුය.

ඔවුන්ට මෑත කාලයකදී කිසිඳු විදෙස් සංචාරයක අත්දැකීම් පවා ලැබීමට නොහැකි වූ අතර, ජාතික පුහුණුකාරිනිය, දැල්පන්දු තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය අතර පැවති විවිධ ගැටලු, අර්බුද හා රටේ පවතින ආර්ථික අර්බුදයේ පීඩනය ද හමුවේ ඔවුන් ලද මෙම ජයග්‍රහණය සැබවින්ම අගය කළ යුත්තේය. ලබන වසරේ ජූලි මස දී පැවැත්වෙන ලෝක ශූරතා තරඟාවලියට ද සහභාගීවීමට සූදානම් වන ඔවුන් ලෝක මට්ටමේ ජයග්‍රහණයක් ලබනු දැකීම ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ මී ළඟ පැතුමය.

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS