රුසියාවත් නේටෝවත් අතර සාකච්ඡා අසාර්ථකයි



ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්, රුසියාව, නේටෝ සංවිධානය සහ ඇමෙරිකාව අතර තවත් හමුවක් වියානා නුවරදී පැවැත්වුණු අතර එය ද අසාර්ථක විය.

රුසියාව, නේටෝ සංවිධානය සහ ඇමෙරිකාව අතර මෙසේ ආරක්ෂක හමුවක් පැවැත්වීමට හේතුව යුක්රේනයයි. මේ වනවිට රුසියන් හමුදා සොල්දාදුවන් දහස් ගණනක් යුක්රේන රුසියා දේශසීමාවේ රැඳී සිටී.

ඇමෙරිකාවත් නේටෝවත් පවසන්නේ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සැරැසෙන බවය. රුසියාව දිගින් දිගටම පවසා ඇත්තේ යුක්රේනය ආක්‍රමණය කිරීමට තමන්ට අදහසක් නැති බවය.

යුක්රේනය, නේටෝව සමඟ එක් වී කටයුතු කිරීම රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින්, දේශසීමාවේ හමුදා රඳවා ඇති බව රුසියාව දිගින් දිගටම පෙන්වා දී තිබේ.

අතීතයේ, සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ දී, යුක්රේනය රුසියාවේ කොටසක් විය.

යුක්රේනයේ රුසියානු හිතවාදී බෙදුම්වාදී කැරැලිකරුවන් සිටින අතර, 2014 දී යුක්රේනයක්‍රිමියා අර්ධද්වීපය රුසියාව විසින් ආක්‍රමණය කළේ ද එම බෙදුම්වාදීන්ගේ සහාය ඇතිවය. රුසියාව සහ බටහිර රටවල් අතර අර්බුදයකට මෙම අක්‍රමණය හේතුවක් විය.

රුසියාව යුක්රේනය අක්‍රමණය කරනු ඇතැයි බටහිර රටවල් අනතුරු අඟවා ඇත්තේ රුසියාවට එසේ කළ හැකි බැවිනි.

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ ව යනු රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල් එක් වී පිහිටුවාගත් හවුල් සංවිධානයයි.  යුක්රේනය නේටෝව සමඟ සමීපව කටයුතු කළත් නේටෝ සාමාජිකයකු නොවේ

(රොයිටර්)


RECOMMEND POSTS