භූමි කම්පාවෙන් මියගිය ගණන 180 පසු කරයි



ඉන්දුනීසියාවේ, ජාවා දූපතේ, බටහිර ජාවා පළාතේ හටගත් ප්‍රබල භූමි කම්පාව හේතුවෙන් මියගිය ගණන 180 ක් බවත් උන්හිටිතැන් අහිමිවුණු ගණන 13,000 ක් බවත් එරඑට මාධ්‍ය වාර්තා කරයි.

භූමි කම්පාවෙන් තුවාල ලැබූ ගණන 500 ට වැඩි බව ද පැවැසෙයි. නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනක් භූමිකම්පාව හේතුවෙන් මුළුමනින්ම බිමට සමතලා වී ඇත. සුන්බුන් අතරේ සිරවුණු පිරිස් සොයා පැය 24 පුරා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවෙයි.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය ඇත්තේ බටහිර ජාවා පළාතේ චියැංජූර් කඳුකර නගරයට නුදුරිනි. භූමි කම්පාව හටගත්තේ ඊයේ (21) ය. තුවාල ලැබූ බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ඉන්දුනීසියානු පුවත් සේවා පවසා ඇත. භූමි කම්පාව හටගත්තේ කඳුකර ප්‍රදේශයේ බැවින් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකෙරුණි.

ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින් භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය. මෙම වසරේ පෙබරවාරියේ ද ඉන්දුනීසියාව ප්‍රබල භූමි කම්පායකින් කැලැඹිණි. රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක් සටහන් කළ එම භූමි කම්පාවෙන් 100 දෙනකු මියගොස් 6,500 ක් තුවාල ලැබූහ. එම භූමි කම්පාව හටගත්තේ බටහිර සුලවේසී පළාතේය.

2004 වසරේ දී ශ්‍රී ලංකාව ද ඇතුළු ඉන්දීය සාගරයේ රටවල් රැසකට කඩා වැදුණු සුනාමිය හටගත්තේ ද ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදු පතුළේ සිදුවුණු භූමි කම්පාවකිනි. එම භූමිකම්පාවේ ප්‍රබගත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 10 ක් ලෙසය. 2004 භූමි කම්පාවෙන් මියගිය ගණන 2,30,000 කි. වැඩිම මරණ වාර්තා වූයේ ද ඉන්දුනීසියාවෙනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS