බයිඩන්-සෙලෙන්ස්කී සතුටින්



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි ‘අන්තර් ජාතික අපරාධ අධිකරණය’ වරෙන්තුවක් නිකුත් කිරීම යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ පැසැසුමට ලක් වී තිබේ.

‘අන්තර් ජාතික අපරාධ අධිකරණය’ රුසියන් ජනාධිපති පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කළේ රුසියාව, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් අනුමනය කරමින්, යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙනි.
හේග් නුවර කේන්ද්‍රකොටගත් අන්තර් ජාතික අපරාධ අධිකරණය රුසියන් ජනාධිපතිවරයාට චෝදනා නගා තිබේ.

මෙම චෝදනා සම්බන්ධයෙන්, රුසියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස් මාරියා ලෙවෝවා-බෙලෝවාට වරෙන්තු නිකුත් කිරීමට එල්ල වී ඇති අතර ඇයට එරෙහිව ද ‘අන්තර් ජාතික අපරාධ අධිකරණය’ පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

කෙසේ නමුත්, මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියාව පවසා ඇත්තේ, එම නියෝගය සම්පූර්ණයෙන් ම අර්ථ විරහිත ක්‍රියාවක් බවය. රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීරණය නීතිමය දෘෂ්ටි කෝණයක් මිස එය කිසිසේත් ම සිය රාජ්‍යයට අදාළ නොවන බවය.

මාරියා සකාරෝවා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළ බලපැවැත්වෙන රෝම ප්‍රඥප්තියේ කිසිදු පාර්ශ්වකරුවකු නොවන බවත් ඒ යටතේ කිසිදු වගකීමක් දරන්නේ ද නැති බවත්ය.

රුසියන් ජනාධිපතිවරයා වහා අත්අඩංගුවට ගන්නැයි ‘අන්තර් ජාතික අපරාධ අධිකරණය’ නියෝග කළ අවස්ථාවේදී, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවැසුවේ, ව්ලැදිමීර් පුටින්, පැහැදිලිවම යුද අපරාධකරුවකු බවය.

ඇමෙරිකාව මෙන් නොව, රුසියාව රෝම ප්‍රඥප්තියේ කිසිදු පාර්ශ්වකරුවකු නොවුණත්, එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් රුසියන් ජනාධිපතිවරයා දැඩි අපහසුතා රැසකට මුහුණ දෙනු ඇතැයි බයිඩන් පෙන්වා දුන්නේය.

‘අන්තර් ජාතික අපරාධ අධිකරණය’ රුසියන් ජනාධිපති පුටින් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත්තේ එය ඉතා වැදගත් මෙන්ම ඓතිහාසික තීන්දුවක් බවය.
රුසියාව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නියෝජිතයෙකි. එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත රාජ්‍යයක රාජ්‍ය නායකයකුට වරෙන්තු නිකුත් කිරීමට ‘අන්තර් ජාතික අපරාධ අධිකරණය’ කටයුතු කළ පළමු අවස්ථාව මෙයයි.

 (රොයිටර්)


RECOMMEND POSTS