නව ආරක්ෂක සහයෝගීතාවක්



මහා බ්‍රිතාන්‍යය, ෆින්ලන්තය සහ ස්වීඩනය සමඟ නව ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය.

එම ආරක්ෂක ගිවිසුමට අනුව, ෆින්ලන්තයට හෝ ස්වීඩනයට හෝ සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත්, එම රටවල් ආරක්ෂා කිරීමට මහා බ්‍රිතාන්‍යය බැඳී සිටින අතර බ්‍රිතාන්‍ය හමුදා එම රටවලට යැවීම සිදුවෙයි. බ්‍රිතාන්‍යයට සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත් ෆින්ලන්තය සහ ස්වීඩනය බ්‍රිතන්‍යයේ සහායට පැමිණෙනු ඇත.

ස්වීඩනය සහ ෆින්ලන්තය යුරෝපයේ 'නෝඩික්' රටවල් ලෙස සැලකෙයි. සෙසු 'නෝඩික්' රටවල් වන නෝර්වේ සහ ඩෙන්මාර්කය 'නේටෝ' හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජික රටවල්ය. 'නේටෝ' යනු යුද සංවිධානයක් වන අතර, ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝවට සහාය දැක්වූ, නිර්පාක්ෂික රාජ්‍යයන් ලෙස මේ වනතුරු කටයුතු කළේය.

කෙසේ නමුත්, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සෙසු යුරෝපා රටවල ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය. ඒ අනුව, 'නේටෝ' සාමාජිකත්වය ලබා ගැනීමට ස්වීඩනය සහ ෆින්ලන්තය කැමැත්ත පළ කර තිබේ. එය රුසියාවේ උදසහට හේතුවක් වූ අතර, මේ වනවිට රුසියාවෙන්, ස්වීඩනයට සහ ෆින්ලන්තයට තර්ජන එල්ල වෙමින් පවතී. ෆින්ලන්තය රුසියාවට මායිම්ව පිහිටා ඇත.

මහා බ්‍රිතාන්‍යය මැදිහත් වී, ෆින්ලන්තය සහ ස්වීඩනය සමඟ නව ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් ඇති කර ගත්තේ රුසියාවෙන් එල්ල වන මෙම තර්ජන මධ්‍යයේය.

ආරක්ෂක සහයෝගීතාවට ෆින්ලන්තය සහ ස්වීඩනය එක් කර ගනිමින්, ඊට අදාල ගිවිසුමට අත්සන් තැබීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ සංචාරය කළේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පළමුවෙන් පැමිණියේ ස්වීඩනයටය. ස්වීඩන අග්‍රාමාත්‍ය මැග්දෙලේනා ඇන්ඩර්සන්ගෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන්ට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාගේ හමුව පැවැත්වූයේ හාප්සන්ඩ් මන්දිරයේය. ස්වීඩන අග්‍රාමාත්‍යවරයාට අයත් නිවාඩු නිකේතනය ලෙස සැලකෙන්නේ මෙයයි. ආරක්ෂක ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු මන්දිරය අසල විලේ බෝට්ටු පැදීමට ද ජොන්සන් සහ මැග්දෙලේනා ඇන්ඩර්සන් කටයුතු කළහ. එය මාධ්‍ය අවධානය දිනා ගැනීමට සමත් විය.

මහා බ්‍රිතාන්‍යය මැදිහත් වී ෆින්ලන්තය සහ ස්වීඩනය නව ආරක්ෂක ගිවිසුමකට හවුල් කර ගැනීම ඉතා වැදගත් යැයි ස්වීඩන අග්‍රාමාත්‍ය මැග්දෙලේනා ඇන්ඩර්සන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ජොන්සන් ද එක් වී සිටියේය.

ස්වීඩන අග්‍රාමාත්‍යවරිය හමුවීමෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන්, ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරට ගොස් ෆින්ලන්ත ජනාධිපති සවුලි නිනිස්ට හමුවී ආරක්ෂක ගිවිසුමට අත්සන් තැබුවේය. නව ආරක්ෂක ගිවිසුම මහා බ්‍රිතාන්‍යය සහ ෆින්ලන්තය අතරේ මිත්‍රත්වය තවත් වර්ධනය කර ගැනීමට හේතුවක් වනු ඇති බව ෆින්ලන්ත ජනාධිපති සවුලි නිනිස් එම අවස්ථාවේදී පැහැදිලි කළේය.

නව ආරක්ෂක ගිවිසුමට අනුව, බ්‍රිතාන්‍ය හමුදා ස්වීඩනයට හෝ ෆින්ලන්තයට යැවීම සිදුවන්නේ එම රටවල තීරණයන්ට අනුව පමණක් යැයි ද අග්‍රාමාත්‍ය ජොන්සන් හෙල්සින්කි නුවර පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැහැදිලි කළේය.

මේ අතර, ස්වීඩනයට සහ ෆින්ලන්තයට කඩිනමින් 'නේටෝ' සාමාජිකත්වය ලබා දීමට සූදානම් බව 'නේටෝ' සංවිධානය පවසා ඇත. නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි දින කීපයේ දී ප්‍රකාශ කරන බව ස්වීඩනය සහ ෆින්ලන්තය පවසා ඇත.

'නේටෝ' සාමාජිකත්වය අපේක්ෂා කරන ෆින්ලන්තය රුසියාවේ අසල්වැසියකු බැවින්, ෆින්ලන්තය අවධාරණය කර ඇත්තේ, තමන් නේටෝ සාමාජිකත්වය ඉල්ලා සිටින්නේ රටේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් බවත්, රුසියාව ප්‍රකෝප කිරීමේ අරමුණක් තමන්ට නොමැති බවත්ය.

(රොයිටර්)


RECOMMEND POSTS