දකුණු කොරියාවේ නව ජනපති දිවුරුම් දෙයි



දකුණු කොරියාවේ නව ජනාධිපති ලෙස යූන් සොක් යූල් දිවුරුම් දුන්නේය. නව ජනාධිපති ලෙස දිවුරුම් දෙමින්, 61 හැවිරිදි යූන් සොක් යූල් උතුරු කොරියාවට පැවැසුවේ, උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණයකට යොමු වන්නේ නම්, එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට තමන් පූර්ණ සහාය ලබා දෙන බවය.

ලෝක බලවතුන් වන ඇමෙරිකාව සහ චීනය අතරේ ගැටුමට උතුරු කොරියාව මෙන්ම දකුණු කොරියාව ද මැදිවී සිටී.

චීනයේ සහායට උතුරු කොරියාව ද ඇමෙරිකාවේ සහායට දකුණු කොරියාව ද සිටින අතර, මෙය උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර පවතින එදිරිවාදිකම් උග්‍ර කිරීමට පසුගිය කාලය පුරා හේතුවක් විය.

උතුරු කොරියාව වසර ගණනාවක පටන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින්නේ එරට න්‍යෂ්ටික වැඩසටහන ඇමෙරිකාවේත් සෙසු බටහිර රටවලත් විරෝධයට හේතුවක් වී ඇති බැවිනි.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ලෝකයෙන් තවත් හුදෙකලා වීම නිසා උතුරු කොරියාවේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටී ඇතැයි පැවැසෙයි. උතුරු කොරියාව ආහාර අර්බුදයකට ද මුහුණ පා සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS