තෙවැනි එන්නත් මාත්‍රාවක් දීමේ අවශ්‍යතාවක් නෑ



රටවල් බොහොමයක් ප්‍රවර්ධකයක් (බූස්ටර්) ලෙස 'කොවිඩ් 19' තෙවැනි එන්නත් මත්‍රාවක් ලබා දීමට කටයුතු කළත්, මේ මොහොතේ එසේ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ එන්නත් සම්බන්ධ ප්‍රධාන විද්‍යාඥවරිය වෛද්‍ය ඇනා මරීයා හෙනෝ ප්‍රමුඛ ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායමක් පෙන්වා දෙයි.

'කොවිඩ් 19' වයිරසයෙන් සහ එහි විකෘති ප්‍රභේදවලින් ආරක්ෂා වීමටත්, සංකූලතා ඇති වී මියයන සංඛ්‍යාව අඩු කිරීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබූ සියලු 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත්වලට හැකියාව තිබෙනවා. මේ මොහොතේ කලබල වී තෙවැනි මාත්‍රාවක් ලබා දීමට අවශ්‍ය වන්නේ නැහැ. තෙවැනි මාත්‍රාවක් ලබා දීමට නම්, ඒ සම්බන්ධයෙන් තව අධ්‍යයනය කළ යුතුයි. එය කලබලේ කළ හැකි සහ කළ යුතු දෙයක් විදියට අප දකින්නේ නැහැ' යැයි වෛද්‍ය ඇනා මරීයා හෙනෝ ප්‍රමුඛ ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායම පැහැදිලි කර තිබේ.

ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායම, මේ බව පැහැදිලි කර ඇත්තේ, විශේෂ අධ්‍යයනයකින් අනතුරුවය. රටවල් රැසකින් ලබා ගත් දත්ත එම අධ්‍යයනයට පාදක වී තිබේ. ඔවුන් සකස් කළ වාර්තාවක් 'ලැන්සෙට්' වෛද්‍ය විද්‍යා සඟරාවේ පළ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ද අවස්ථා කීපයකදී පවසා ඇත්තේ තෙවැනි මාත්‍රාවක් ලබා දීමට පෙර,ලොව සෑම කෙනකුටම එක් එන්නතක් පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා දී අවසන් කළ යුතු බවය. තවමත් ලෝකයේ රටවල් බොහොමයක වැසියන්ට එක් මාත්‍රාවක් හෝ ලැබී නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS