ජනපති බයිඩන්ගෙන් චීන ජනපතිට ඇමතුමක්



ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර දුරකතන කතාබහක් පැවැත්විණි.

ලොව ප්‍රබලතම ආර්ථිකයන්ට හිමිකම් කියන ඇමෙරිකාවේත් සහ චීනයේත් නායකයන් දෙදෙනා මේ අයුරින් එකිනෙකා සමඟ සෘජු දුරකතන කතාබහක නියැලුණේ මාස 7 කට පසුව යැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

නායකයන් දෙදෙනා අතර කතාබහක් සිදුවුණු බව ධවල මන්දිරය මෙන්ම චීන රාජ්‍ය මාධ්‍ය ආයතන ද තහවුරු කර තිබේ. චීන ජනාධිපතිවරයාට ඇමතුම ලබා දුන්නේ ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ය. පළුදු වී ඇති ඇමෙරිකා චීන සබඳතා ශක්තිමත් කර ගැනීම රාජ්‍ය නායකයන් දෙදෙනාගේ ප්‍රධාන අරමුණ විය. දෙදෙනා අතරේ කතාබහ මිනිත්තු 90 ක් පුරා පැවැත්විණි.

ජෝ බයිඩන් සහ ජින්පින් අතර මීට පෙර පළමුවෙන් දුරකතන කතාබහක් පැවැත්වීම සිදුවූයේ පසුගිය ජනවාරියේය. ඒ, බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වුණු අවස්ථාවේදීය. චීන ජනාධිපතිවරයා එම අවස්ථාවේදී බයිඩන්ට ඇමතුවේ ඔහුට සුබ පතමිනි.

ඔබාමා පරිපාල සමයේ, ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස කටයුතු කළේ ජෝ බයිඩන් ය. ඇමෙරිකන් උප ජනාධිපති ලෙස බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පවත්වා ඇත. දෙදෙනා අතර යහපත් සබඳතා පවතින බැවින්, ඇමෙරිකාවත් චීනයත් අතර පළුදු වුණු සබඳතා යළි ශක්තිමත් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

'කොවිඩ් 19' වසංගතය, මානව හිමිකම්, වෙ‍ෙළඳ කටයුතු සහ ගෝලීය වශයෙන් බලපෑම් ඇති කරන කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ද බයිඩන් සහ ජින්පින්ගේ අවධානය යොමු වූ බව පැවැසෙයි. බයිඩන්ට පෙර ඇමෙරිකා ජනාධිපති ධුරය හෙබවූ ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

ඒ, චීනයට ලොවට තර්ජනයක් බවත්, ඇමෙරිකානුවන්ගේ රැකියා අවස්ථා චීනය විසින් උදුරා ගනු ලැබ ඇති බවත් පවසමින් ඒ සම්බන්ධයෙන් චෝදනා නගමිනි.

ට්‍රම්ප් පරිපාලනය චීනයට තීරු බදු පැනැවූ අතර, චීනය ද ඇමෙරිකාවට පෙරෙළා තීරු බදු පැනැවීමක් කළේය. ඇමෙරිකාවත් චීනයත් අතර වෙළෙඳ යුද්ධයක් නිර්මාණය වූ අතර එය ගෝලීය ආර්ථිකයට බලපෑම් කළේය. බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වුවත් චීනය සහ ඇමෙරිකාව අතර යහපත් සබඳතා නිර්මාණය නොවිණි.

ඊට ප්‍රධානතම හේතුව 'කොවිඩ් 19' වසංගතයයි. 'කොවිඩ් 19' වයිරසය චීනය විසින් නිර්මාණය කරනු ලැබූවක් බවත් එය අත්වැරදීමකින් සමාජයට මුදා හැරෙන්න ඇති බවත් ඇමෙරිකන් බුද්ධි අංශ චෝදනා කර ඇත. මෙය චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

කෙසේ නමුත් පැවැත්වුණු කතාබහ ඵලදායී වූ බවත්, දිගටම සබඳතා පවත්වා ගෙන යා යුතු බවත් බයිඩන් සහ ජින්පින් අතර එකඟතාවක් ඇති කර ගැනුණි.

(රොයිටර්)


RECOMMEND POSTS