චීන ජනාධිපති ලෙඩ වෙලා



චීන ජනාධිපති ෂී ජින්පින්, මොළයේ රුධිර නාළ ඉදිමීමේ 'මස්තිෂ්ක ධමනි ප්‍රදාහය' හෙවත් සරේබ්‍රල් ඇනියුරිසම් නමැති රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය පවසයි.

68 හැවිරිදි ජනාධිපතිවරයා, 2021 වසර අවසානයේ හිටිහැටියේ රෝහල් ගත කෙරුණි. ඔහු 'මස්තිෂ්ක ධමනි ප්‍රදාහය' රෝගී තත්ත්වයෙන් පීඩා විඳිනවා යැයි වෛද්‍යවරුන් නිර්ණය කළේ එම අවස්ථාවේදී යැයි මාධ්‍ය වාර්තා වැඩි දුරටත් වාර්තා කර තිබේ. 

රෝගී තත්ත්වය සඳහා බටහිර ඖෂධ ලබා ගැනිම හෝ සැත්කම් සඳහා යොමු වීම හෝ ජනාධිපති ජින්පින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු යොමු වී ඇත්තේ සාම්ප්‍රදායික චීන ඖෂධ කෙරෙහිය.

සාම්ප්‍රදායික චීන ඖෂධවල ගුණය තමන් හොඳින් දන්නා බවත්, ප්‍රතිකාර සඳහා සාම්ප්‍රදායික චීන ඖෂධ භාවිතයට තමන් කැමැති බවත් ජනාධිපති ජින්පින් ඔහුගේ වෛද්‍යවරුන්ට පවසා ඇතැයි ද වාර්තා වේ.

2019 වසරේ සිට ජනාධිපති ජින්පින්ගේ සෞඛ්‍යයේ වෙනසක් විදෙස් මාධ්‍යවේදීන්ට දකින්න ලැබී ඇත. 2019 වසරේ මුල් කාලයේ ජනාධිපති ජින්පින් ඉතාලියේත් ප්‍රංශයේත් නිල සංචාරවලට එක් විය.

එම අවස්ථාවේදී ජනාධිපතිවරයාට ඇවිදීමටත්, අසුන් ගැනීමටත් ඔහුගේ සහායකයන්ගේ සහාය හිමිවිය. 'කොවිඩ් 19' වසංගතයේ ආරම්භය සිදුවූයේ චීනයෙනි. ඒ, 2019 දෙසැම්බරයේය.

2020 වසරේ ඔක්තෝබර් දී, චීනයේ ෂෙන්සෙන් නුවර ජන හමුවකට සහභාගී වූ අවස්ථාවේදී ජනාධිපතිවරයාට වචන පැටැළුණු අතර, කතා කරද්දී කැස්සක් ද ඇතිවය.

'කොවිඩ් 19' වසංගතය ආරම්භ වීමෙන් පසු ජනාධිපති ෂී ජින්පින් විදෙස් නායකයන් කිසිවකු හමුවූයේ නැත. ඔහු විදෙස් නායකයන් සහ රාජ්‍ය නායකයන් හමුවූයේ පසුගිය 2021 වසරේ බෙයිජීං අගනුවර පැවැති ශීත ඔලිම්පික් උළෙලේදී පමණි.

ජනාධිපතිවරයා විදෙස් නායකයන් හමුනොවූයේත්, ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේත් ඔහුගේ මෙම රෝගී තත්ත්වය නියා යැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ වනවිට චීනය ද ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. එරට ඉන්ධන මිලද ඉහළ ගොස් තිබේ. ඊට එක් හේතුවක් වන්නේ යුක්රේන අර්බුදයයි. අනෙක් හේතුව 'කොවිඩ් 19' වසංගතයයි. චීනය මේ වනවිට දරුණු ලෙන යළිත් වරක් 'කොවිඩ් 19' වසංගතයෙන් බැට කන බව පැවැසෙයි.

චීනය 'කොවිඩ් 19' වසංගතය පාලනය කර ගැනීමට උත්සාහ ගන්නේ වයිරසය පැතිරෙන නගරවල හෝ පළාත්වල සියලු දෙනා 'කොවිඩ් 19' පරීක්ෂණවලට යොමු කර ආසාදිතයන් හඳුනා ගෙන ඔවුන් වෙන් කරමිනි.

චීන ජනාධිපතිවරයාගේ එක් ධුර කාලයක් පස් වසරකි. ෂී ජින්පින් දෙවැනි ධුර කාලය මෙම 2022 වසරේ අවසන් වෙයි. චීන ජනාධිපතිවරයා තෝරා ගන්නේ එරට කොමියුනිස්ට් පක්ෂ මහ සමුළුවේදීය.

මෙම වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මහ සමුළුව පැවැත්වීමට නියමිතය. ජින්පින්ට තෙවැනි ධුර කාලයක් හිමිවනු ඇත්තේ, චීනය ආර්ථිකමය වශයෙන් ශක්තිමත්, ස්ථාවර රාජ්‍යයක් කිරීමට ජනාධිපති ජින්පින්ට හැකියාව ඇති නම් පමණි.

(රොයිටර්)


RECOMMEND POSTS