චීන ජනපති කැනඩා අගමැති අතරේ උණුසුම් වචන හුවමාරුවක්



කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සහ චීන ජනපති ෂී ජින්පින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. ඒ, ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වුණු ‘ජී20’ සමුළුවේ අවසන් අදියරේය.

උණුසුම් වචන හුවමාරුව ආරම්භ වූයේ චීන ජනාධිපති ජින්පින්, කැනඩා අග්‍රාමාත්‍යවරයා සිටි තැනට කෙළින්ම ගොස් ඔහුගේ මූණට චෝදනා නැගීමත් සමඟය.

චීන ජනාධිපතිවරයා චෝදනා නැගුවේ, ඔහු සහ කැනඩා අග්‍රාමාත්‍යවරයා අතරේ මීට පෙර පැවැත්වුණු හමුවේදී සාකච්ඡා වුණු සියලු කරුණු කාරණා කැනඩා මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී ඇති බැවිනි.

‘අප අතරේ සිදුවුණු සියලු කතාබහ කැනඩා මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒක සුදුසු දෙයක් නොවෙයි. අප අතරේ සිදුවුණු සියලු කතාබහ මාධ්‍යවලට ලබා දීම සුදුසු යැයි මා සිතන්නේ නැහැ’ යැයි චීන ජනාධිපති ජින්පින් කැනඩා අගමැතිට පවසන්නේ භාෂා පරිවර්තකයකුගේ ද උදව් ඇතිවය.

චීන ජනාධිපතිවරයා මෙසේ කැනඩා අගමැතිට දොස් නැගීම මෙන්ම කැනඩා අගමැති ඊට ලබා දුන් අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් මේ වනවිටත් සමාජ මාධ්‍ය ඔස්සේත්, විදෙස් පුවත් නාළිකා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

චීන ජනාධිපතිවරයා චෝදනා නගද්දී, කැනඩා අග්‍රාමාත්‍යවරයා මෙසේ පිළිතුරු දුන්නේය. ‘කැනඩා වැසියන්ට හංගන්න දෙයක් නැහැ. ඕනෑම සංවාදයක් විවෘත විය යුතු බවත් අවංක විය යුතු බවත් ඔවුන්ගේ විශ්වාසයයි. සිදුවූයේ එයයි’

චීන ජනාධිපතිවරයා සහ කැනඩා අග්‍රාමාත්‍යවරයා හමුවුණු අවස්ථාවේදී ඔවුන් අතරේ සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ, කැනඩා මැතිවරණයට චීනය කළ මැදිහත් වීම්, උතුරු කොරියානු අර්බුදය සහ රුසියන් යුක්රේන අර්බුදයයි. එම සාකච්ඡාව විනාඩි 10 කට පමණක් සීමා වී ඇත්තේ, සාකච්ඡාවට බඳුන් වුණු කරුණු කාරණා රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අප්‍රසාදයට ලක් වුණු බැවින් යැයි කැනඩා මාධ්‍ය වාර්තා කර තිබුණි.
කෙසේ නමුත්, චීනය සමඟ ඵලදායී අයුරින් කටයුතු කිරීමට තමන් සැමවිටම සූදානම් බව කැනඩා අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති හමුවේ පැහැදිලි කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS