කලීඩා ෂියාට කොවිඩ්



බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍යවරියක මෙන්ම එරට වත්මන් විපක්ෂ නායිකාව වන කලීඩා ෂියා ට ද ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

බංග්ලාදේශ මාධ්‍ය මෙසේ පැවැසුවේ, කලීඩා ෂියාගේ බංග්ලාදේශ ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයක් ද උපුටා දක්වමිනි.

74 හැවිරිදි කලීඩා ෂියා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන නමුත් ඇය වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් බංග්ලාදේශ ජාතික පක්ෂය වැඩි දුරටත් පවසා තිබේ.

බංග්ලාදේශයේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන හිටිහැටියේ ඉහළ යෑමට පටන් ගත්තේ පසුගිය මාර්තු මාසයේ සිටය. මේ වනවිට බංග්ලාදේශයේ සමස්ත ආසාදිතයන් ගණන 6,84,756 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මරණ වාර්තා වන්නේ 9,739 ක් ලෙසය.

මේ අතර, ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය ඉහළ යෑමත් සමඟ දෙස් විදෙස් ගුවන් ගමන් සතියක කාලයක් සඳහා නවතා දැමීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ.

ඒ අනුව අනිද්දා (14) දිනයේ සිට සියලුම ගුවන් ගමන් නවතා දැමෙනු ඇත. බංග්ලාදේශ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අනිද්දා (14) සිට ලබන 20 වැනිදා තෙක් බංග්ලාදේශයෙන් පිටත්වන සහ බංග්ලාදේශයට පැමිණෙන සියලු ගුවන් ගමන් නවතා දැමෙන බවය. ඒ අනුව, ගුවන් ගමන් 500 කට වැඩි ප්‍රමාණයක් අවලංගු වන බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS