උතුරු කොරියාවෙන් කොරෝනා රෝගියෙක්



උතුරු කොරියාවෙන් පළමු වරට 'කොවිඩ් 19' ආසාදිතයකු වාර්තා වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය පවසයි.

උතුරු කොරියාවේ 'කේ.සී.එන්.ඒ' රාජ්‍ය පුවත් සේවයට අනුව, යොංග්පෙන්ග් අගනුවර උණ රෝගියකු 'කොවිඩ් 19' පරීක්ෂණයකට යොමු කළ අවස්ථාවේදී ඔහු ආසාදිතයකු බව තහවුරු වී ඇත.

එම තැනැත්තාට ආසාදනය වී ඇත්තේ 'කොවිඩ් 19' ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බිහිසුණු ඔමික්‍රෝන් විකෘතිය යැයි ද හඳුනා ගැනීමට උතුරු කොරියානු සෞඛ්‍ය අංශ සමත් වී තිබේ.

පළමු ආසාදිතයා මෙසේ වාර්තා වීමත් සමඟ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ එරට ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ද අතරේ විශේෂ හමුවක් පැවැත්විණි. ඒ, 'කොවිඩ් 19' වසංගත තත්ත්වයක් නිර්මාණය වුවහොත් ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙනි.

වයිරස ව්‍යාප්තිය හැකිතාක් වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ පැනැවීම සහ 'ලොක්ඩවුන්' කිරීම් සම්බන්ධයෙන් මෙහිදී අවශ්‍ය තීන්දු තීරණ ගත් බව පැවැසෙයි. ආසාදිතයන් සහ ආශ්‍රිතයන් හඳුනා ගැනීමේ නව වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට උතුරු කොරියානු නායකයා උපදෙස් ලබා දුන් බව ද 'කේ.සී.එන්.ඒ' රාජ්‍ය පුවත් සේවය වාර්තා කර තිබේ.

'කොවිඩ් 19' වසංගතයේ මූලාරම්භය චීනයයි. චීනය උතුරු කොරියාවේ එක් අසල්වැසියකු වන අතර, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සම්බාධක පනවා තිබියදී, උතුරු කොරියාව සබඳතා පවත්වන ප්‍රධාන රාජ්‍යය වන්නේ ද චීනයයි.

කෙසේ නමුත් චීනයේ 'කොවිඩ් 19' වසංගත තත්ත්වයක් නිර්මාණය වූ සැණින්, උතුරු කොරියාව චීනය සමඟ සබඳතා අත්හිටුවා දේශසීමා සියල්ල වසා දැමීය. උතුරු කොරියාවේ සිටි සියලු විදේශිකයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ආපසු යැවීමට ද කටයුතු කළේය. දේශසීමා පසු කර උතුරු කොරියාවට පිවිසෙන පුද්ගලයන්ට වෙඩි තැබීමට පවා උතුරු කොරියානු හමුදාව කටයුතු කළේය.

මෙසේ දේශසීමා වසා දැමීමෙන් උතුරු කොරියාව තව තවත් ලොවෙන් හුදෙලා වූ අතර දැඩි ආර්ථික සහ ආහාර අර්බුදයකට ද ලක් විය. කෙසේ නමුත් 2019 සිට මේ දක්වා කිසිදු 'කොවිඩ් 19' රෝගියකු වාර්තා වී නොතිබුණි.

පසුගිය වසරේ අවස්ථා දෙකකදී, ලෝක සෞඛ්‍ය සංවිධානය උතුරු කොරියාවට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රදානය කිරීමට උත්සාහ ගත් අතර, උතුරු කොරියා රජය ඒවා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, 'කොවිඩ් 19' වසංගතයෙන් එම අවස්ථාවේ දරුණු ලෙස පීඩාවට පත් වූ රටවලට එම එන්නත් ලබා දෙන ලෙසය. උතුරු කොරියාව එම අවස්ථාවේදී ගත් තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසැසුමට පවා ලක් විය.

(රොයිටර්)


RECOMMEND POSTS