ඇෆ්ගනිස්තානයට රිංගන්න චීනය සූදානම්



ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා පිටව ගිය සැණින්, ඇෆ්ගනිස්තානයට 'රිංගා ගැනීමට' චීනය සූදානම් බව ඇමෙරිකන් හමුදා බුද්ධි අංශ කියයි.

'ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා මේ වනවිටත් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීම ආරම්භ කර තිබෙනවා. විදෙස් හමුදා පිටව ගිය සැණින්, චීන රජය, ඇෆ්ගන් රජය සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගනීවි.' යැයි ඇමෙරිකන් බුද්ධි අංශ උපුටා දක්වමින් ඇමෙරිකන් හමුදා ප්‍රධානී ජනරාල් ෆ්‍රෑන්ස් මැකෙන්සි පැහැදිලි කර තිබේ.

'චීනය දැනටමත් ආසියානු සහ අප්‍රිකා රටවල් බොහොමයක් සමඟ එක් වී කටයුතු කරනවා. එම රටවල යටිතල පහසුකම් සහ සංවර්ධන කටයුතු සඳහා ණය ලබා දෙනවා. වසර ගණනාවක යුද ගැටුම්වලින් හෙම්බත් වුණු ඇෆ්ගන් රජයට චීනය ලොකු සහායක් වේවි. ඒ අනුව, ඉදිරියේ දී චීනය තව තවත් ආසියානු කලාපයේ ඔවුන්ගේ බලය වර්ධනය කර ගනීවි.' යැයි ඇමෙරිකන් හමුදා ප්‍රධානී ජනරාල් ෆ්‍රෑන්ස් මැකෙන්සි වැඩිදුරටත් පෙන්වා දෙයි.

චීනය එක් මාවතක් එක් තීරණයක් සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කර ඇත්තේ, අතීතයේ පැවැති සේද මාවත පුළුල් කරමිනි. ඉන්දියාවේ විරෝධයට හේතු වුවත්, චීනය පාකිස්තාන රජය සමඟ එක් වී, 'චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝවක්' නිර්මාණය කර ඇත්තේ හිමාලය සහ පාකිස්තානය හරහා අධිවේගී මාර්ගවලින් අරාබි මුහුදට සම්බන්ධ කිරීමේ අරමුණින්ය.

ජගත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ඇෆ්ගනිස්තානය ද සම්බන්ධ කර ගනිමින් ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම මගින් චීනය ඔවුන්ගේ එක් මාවතක් එක් තීරණයක් සංවර්ධන වැඩපිළිවෙළ තව තවත් පුළුල් කරමින් ලෝකයට බලපෑම් කරනු ඇති බවය.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා, පැවැති තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ මීට වසර 20 කට පෙරය. එම අවස්ථාවේ චීනය ඊට දැඩිව විරෝධය පෑවේය.

චීනය එදා කියා සිටියේ, ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළොත් එය ඇෆ්ගනිස්තානයේ විනාශයට හේතුවක් වනු ඇති බවය. මීට මාස දෙකකට පෙර, කාබුල් අගනුවර දරුණු බෝම්බ පිපිරීමක් සිදුවිය. ඒ, ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන බව නිවේදනය කළ මොහොතේදීය.

බෝම්බ පිපිරීම සිදු කරනු ලැබුවේ තලේබාන් ත්‍රස්තවාදීන් විසිනි. එම අවස්ථාවේදී චීනය පෙන්වා දුන්නේ, ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම එරට ආරක්ෂාවට තර්ජනයක් වීම වැළැක්විය නොහැකි බවය.

(රොයිටර්)


RECOMMEND POSTS