ජර්මන් පූසෝ ලොක්ඩවුන්



‘ලොක්ඩවුන්’ කියන්නේ මොකක්දැයි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ අපි ‘ලොක්ඩවුන්’ යන්නහි අරුත හොඳින් අවබෝධ කර ගත්තෙමු. මේ කතාව ජර්මනියේ නගරයක බළල් සුරතලුන් ‘ලොක්ඩවුන්’ කිරීමක් ගැනය.

ජර්මනියේ පිටිසරබඳ නගරයක සුරතල් බළලුන් මාස තුනක කාලයක් ‘ලොක්ඩවුන්’ කිරීමට නගර බලධාරීන් තීරණය කර තිබුණු අතර, එම ලොක්ඩවුන් කාල සීමාව පසුගිය අගෝස්තු 15 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

මේ, විශේෂ ලොක්ඩවුන් කාල සීමාව ප්‍රකාශයට පත් කර තිබුණේ වෝල්ඩ්‍රොෆ් නමැති නගරයේ බළල් සුරතලුන් වෙනුවෙනි. බළලුන් නිවස තුළ රඳවා ගන්නා ලෙසත්, බළලුන් පිටතට ගෙනි යන්නේ නම් පටියකින් ගැට ගසා මීටර් දෙකකට නොවැඩි දුරකින් උන් තබා ගන්නැයි නගර බලධාරීන් ජනතාවට උපදෙස් දී තිබුණි.

යම් හෙයකින්, ලොක්ඩවුන් කාලසීමාව තුළ බළලකු නිවසකින් පැනගොස් නිදැල්ලේ හැසිරෙන්නේ නම්, වහා ඒ බව දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබුණි. එසේ පැනගිය බළලුන් අල්ලා ආපසු ගෙනත් දීමට විශේෂ කණ්ඩායමක් සිරීවෙන් සිටි අතර, පශු වෛද්‍යවරු ද එම කණ්ඩායමට අයත් වූහ. බළලුන් ලොක්ඩවුන් නීති කඩන්නේ නම්, බළලුන්ගේ හිමිකරුට පවුම් 42,000 ක දඩයක් ද නියම විය.

බළලුන් මෙසේ මාස 3 කට ලොක්ඩවුන් කෙරුණේ පුංචි කුරුල්ලකු ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. මේ කුරුල්ලා, වඳවීමේ තර්ජනයට ලක්වුණු වෝල්ඩ්‍රොෆ් නගරය අයත් පළාතට පමණක් ආවේණික කුඩා කුරුල්ලෙකිත කුරුල්ලා 'ක්‍රෙස්ටඩ් ලාක්' යනුවෙන් හැඳින්වෙයි.

මෙම කුරුල්ලා පහසුවෙන් බළලුන්ට ගොදුරු වෙයි. කුරුලු ගහණය අඩු වීමට හේතුවක් වී ඇත්තේ ද බළලුන්ය. බළලුන් ද මෙම කුරුල්ලා දඩයම් කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. කුරුලු විද්‍යාඥයන් කළ සංගනනයකට අනුව, වෝල්ඩ්‍රොෆ් නගරය අයත් පළාතේ සිටින්නේ ‘ක්‍රෙස්ටඩ් ලාක්’ කුරුලු ජෝඩු 3 ක් පමණක් බව ද පැවැසෙයි.

පසුගිය මාස 3 ක කාලය ‘ක්‍රෙස්ටඩ් ලාක්’ කුරුල්ලන්ගේ බිජුලන (අභිජනන සමය) සහ පැටවුන් එළියට පැමිණෙන සමයයි. බළලුන් නිවෙස්වලට සීමා කරමින් ලොක්ඩවුන් නීති හඳුන්වා දීමට බලධාරීන් පියවර ගත්තේ එම කාල සීමාව පසු කිරීමටය.

සුරතල් බළලුන් වෙනුවෙන් මෙසේ ලොක්ඩවුන් නීති පැනැවීම සම්බන්ධයෙන් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් ඔවුන්ගේ දැඩි අප්‍රසාදය පළ කළ බව ද පැවැසිණි. එසේ වුවත්,  ‘ක්‍රෙස්ටඩ් ලාක්’ කුරුල්ලා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැප කිරීම් කළ යුතු බව පසුව ඔවුහු පෙන්වා දුන්හ.

බීබීසී වාර්තාවක් ඇසුරිනි


RECOMMEND POSTS