ඔලිම්පික් ගිය රටක් නැති කණ්ඩායම



'කොවිඩ් 19' වයිරස වසංගතය නිසා වසරක් ප්‍රමාද වුණු '2020 ටෝකියෝ ඔලිම්පික්' උළෙල මේ වනවිට දැඩි සෞඛ්‍ය නීතිරීති යටතේ ටෝකියෝ අගනුවර ආරම්භ වී ඇත.

රටවල් සහ පාලන ප්‍රදේශ 206 ක් නියෝජනය කරමින්, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 11,000 කට වැඩි ගණනක් මෙවර 'ටෝකියෝ ඔලිම්පික්' උළෙලට සහභාගී වෙති. ඒ, ක්‍රීඩා ඉසවු 33 ක් වෙනුවෙනි.

ඒ අතරේ, කිසිම රටකට අයත් නොවන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කණ්ඩායමක් ද ඔලිම්පික් උළෙලට සහභාගී වී සිටිති. මෙම පිරිස අයත් වන්නේ ඔලිම්පික් සරණාගත කණ්ඩායම Refugee Olympic Team ටය.

ඔවුන් තරග කරන්නේ, ඔලිම්පික් ධජය යටතේය. ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වී සිටින ඔලිම්පික් සරණාගත කණ්ඩායම 29 දෙනකුගෙන් සමන්විත වන අතර, එම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා ඉසවු 12 කට සහභාගී වෙති.

සරණාගත ඔලිම්පික් කණ්ඩායමක් පළමු වරට ලොවට හඳුන්වා දීම සිදුවූයේ මීට පෙර එනම් 2016 දී බ්‍රසීලයේ රියෝ නුවර පැවැත්වුණු ඔලිම්පික් උළෙලේදීය.

සරණාගත ඔලිම්පික් කණ්ඩායමට අයත් වන්නේ, සිවිල් යුද ගැටුම්, රාජ්‍ය පෙරැළි, දේශපාලනික පළිගැනීම් සහ විවිධ මානුෂීය අරගල හේතුවෙන් තම මවු රටින් විදේශවලට ගොස්, එම විදේශවල රටක් නොමැතිව සරණාගතයන් ලෙස ජීවත්වන ක්‍රීඩාවෙන් දක්ෂතා පෙන්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය.

මොවුන් සියලු දෙනා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් ලැයිස්තුවේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය.

සරණාගත කණ්ඩායමක් ලෙස ඔලිම්පික් උළෙලට සහභාගී වීමට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වරම් ලැබුණේ, ඔවුන්ගේ දක්ෂතා ගැන පැහැදීමෙන්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඔවුන් ඔලිම්පික් සඳහා නිර්දේශ කළ බැවිනි.

එපමණක් නොව, 2016 දී මෙම කණ්ඩායම දක්ෂ ලෙස ක්‍රීඩා කළ හෙයින්, මෙම 2020 වසරේ දී ද ඔවුන්ට අවස්ථාවක් ලබා දීමට ඔලිම්පික් කමිටුව තීරණය කළේය.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු වීම් කටයුතු සිදු කළේ කටාර්හිදීය. කටාර් රාජ්‍යයේ අනුග්‍රහය ඔවුන්ට නොඅඩුව හිමිවිය.

සරණාගත කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 29 දෙනා මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බොක්සිං, ඔරු පැදීම, පාපැදි, ජූඩෝ, කරාතේ, වෙඩි තැබීම, පිහිනීම, ටයිකොන්ඩෝ, බර ඉසිලීම සහ මල්ලවපොර යන ක්‍රීඩා ඉසවු නියෝජනය කරති.

ටෝකියෝ ක්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ තරගාවලියේදී සරණාගත කණ්ඩායමට ඇතුළත්, ඉරාන සරණාගත ක්‍රීඩිකා කිමියා අලිසාදේ ට සරණාගත ඔලිම්පික් කණ්ඩායමේ ප්‍රථම පදක්කම දිනා ගැනීමට ඔන්න මෙන්න අවස්ථාවක් ලැබුණත්, අවසන් මොහොතේ එම අවස්ථාව ගිලිහිණි.

ටෝකියෝ නුවර පැවති පළමු වටයේදී  කිමියා අලිසාදේ 18-9ක් ලෙස ඉරාන ප්‍රතිවාදියා වූ නහීඩ් කියියානි චන්දෙ පරාජය කළාය.

16 වැනි වටයේදී කිමියා අලිසාදේ, දෙවරක් ඔලිම්පික් රන් පදක්කම්ලාභී බ්‍රිතාන්‍ය ශූරිය ජේඩ් ජෝන්ස් ද පුදුමයට පත් කිරීමට සමත් වූවාය. අවසානයේ  කිමියා අලිසාදේ බ්‍රිතාන්‍ය ශූරිය 16-12ක් ලෙස පරාජය කළාය.

23 හැවිරිදි  කිමියා අලිසාදේ සරණාගත කණ්ඩායම නියෝජනය කරමින්, 2016 රියෝ ඔලිම්පික් උළෙල ද නියෝජනය කළාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS