අඟහරු චන්ද්‍රයාට බොරු ගමනක්



ඇමෙරිකාවේ නාසා ආයතනය පමණක් නොව, ලෝකයේ සෙසු අභ්‍යවකාශ ඒජන්සි පවා උත්සාහ ගන්නේ අඟහරු තරණයයි. කෙසේ නමුත්, ඒ අතරින් ඉදිරියෙන් පසුවන්නේ නාසා ආයතනයයි. අඟහරු ග්‍රහයාට මිනිසුන් යැවීම පහසු කාර්යයක් නොවෙයි. එය දිර්ඝ මෙන්ම වෙහෙසකර ගමනකි. මිල අධික අවදානම් ගමනකි. මිනිස් සිරුරට කායික සහ මානසික වශයෙන් ඔරොත්තු නොදෙන තරමේ ගමනකි. මේ නිසා වසර කීපයක පටන්, නාසා ආයතනය අඟහරු සවාරියකට ගගනගාමීන් පුරුදු පුහුණු කිරීම නොකඩවා සිදුවෙයි.

මේ අඟහරු පුහුණු මෙහෙයුමක් ගැන නොවෙයි. අඟහරුට චන්ද්‍රයෝ දෙදෙනෙකි. 'පෝබෝස්' සහ 'ඩීමොස්' යනු එම චන්ද්‍රයන් දෙදෙනාය. එයින් ද අඟහරුට සමීප චන්ද්‍රයා වන්නේ 'පෝබෝස්' ය. අඟහරු මෙන්ම 'පෝබෝස්' ද රහස් සඟවා ගත් ග්‍රහ වස්තුවකි. 'පෝබෝස්' සහ 'ඩීමොස්' සොයා ගත්තේ 1877 වසරේදී ඇමෙරිකන් තාරකා විද්‍යාඥ ඒසැප් හෝල් විසිනි.

ග්‍රීක දේව ප්‍රරාණයට අනුව යුද්ධයට අධිපති ඒරීස් දෙවියාගේත් සුන්දරත්වයට අධිපතිනී ඇප්‍රොඩයිටි දෙවඟනගේත් නිවුන් දරුවන් දෙදෙනා 'පෝබෝස්' සහ 'ඩීමොස්' ය. ඒ අනුව, අඟහරුගේ චන්ද්‍රයන් දෙදෙනා ඒ නමින් නම් කර ඇත. රෝම දේව පුරාණයට අනුව, 'ඒරීස්' එසේත් නැතිනම් යුද්ධයට අධිපති දෙවියා හැඳින්වෙන්නේ 'මාර්ස්' යනුවෙනි. අඟහරු හෙවත් රතු ග්‍රහයා ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ 'මාර්ස්' ලෙසය.
අනාගතයේ දිනෙක අඟහරු මතුපිටට පමණක් නොව, පෝබෝස් චන්ද්‍රයා මතුපිටට ද මිනිසුන් යැවීමට 'නාසා' ආයතනය මේ වනවිටත් සැලැසුම් සකස් කර තිබේ.

පසුගිය දා 'පොබෝස්' චන්ද්‍රයාට ගගනගමීන් සිවු දෙනකු යැවීමේ 'බොරු' මෙහෙයුමක් ආරම්භ කෙරුණි. මෙම බොරු මෙහෙයුම යටතේ, නාසා ආයතනය ගගනගාමීන් යැයි තෝරා ගත් සිවු දෙනෙක්, පෝපෝස් බලා අභ්‍යවකාශයේ සංචාරය කරනවා යැයි අනුමාන කරමින්, දින 45 ක් කුඩා දෙමහල් මොඩියුලයක සිරකර, බාහිර ලෝකයෙන් වෙන් කර තබයි. ඔවුන් සම්බන්ධ වෙන්නේ නාසා පාලන මැදිරිය සමඟ පමණි.

නාසා ආයතනය, මෙම මොඩියුලය නම් කර ඇත්තේ 'හේරා' HERA යනුවෙනි. නාසා ඉන්ජිනේරුවන්, ටෙක්සාස් ජනපදයේ, හුස්ටන් හි පිහිටා ඇති නාසා ජොන්සන් ස්පේස් සෙන්ටර් අභ්‍යවකාශ ආයතනයේ අංගනයක් තුළ 'හේරා' මොඩියුලය නිර්මාණය කර තිබේ. මහල් දෙකකින් සමන්විත මෙම මොඩියුලය, කොටස් 4 කට වෙන් කර ඇති අතර එහි ප්‍රමාණය වර්ග අඩි 636 කි. පුහුණුවට එක්වුණු ගගනගාමීන් සිවු දෙනාට වෙන වෙනම කුඩිය බැගින් හිමිවී ඇති අතර පර්යේෂණාගාරයක්, වැසිකිළියක් සහ මුළුතැන්ගෙයක් මොඩියුලයට ඇතුළත් වෙයි.

සිවුදෙනා 'හේරා' මොඩියුලයට ඇතුළු වී දොර වසා ගත්තේ පසුගිය ඔක්තෝබර් පළමු වැනිදාය. දින 45 ක් මොඩියුලය තුළ රැඳී සිටිමින් ඔවුන් පිටතට පැමිණෙනු ඇත්තේ ලබන නොවැම්බර් 15 වැනිදාය. ඒ අතර කාලයේ ඔවුන්ගේ කායික සහ මානසික ශක්තිය පිළිබඳව ද විමසා බැලීමක් සිදු කෙරේ. සත්‍ය වශයෙන් මෙවැනි මෙහෙයුමක් සිදුවනු ඇත්තේ වසර 2030 න් පසුවය. නාසා ආයතනය අඟහරු මතුපිටට මිනිසුන් යැවීමට සූදානම් වන්නේ 2035 වසරේදී පමණය. 'පෝබෝස්' ගවේෂණය සිදුවනු ඇත්තේ ඊටත් පසුව යැයි පැවැසෙයි.

කණ්ඩායමේ සිවුදෙනාගෙන් තිදෙනකු කාන්තාවන් වන අතර එකම පිරිමියා වන්නේ ක්‍රිස් රොබට්ස් ය. මොහු නාසා ආයතනයේ ව්‍යාපෘති ඉන්ජිනේරුවෙකි. ඇමෙරිකන් ගුවන් හමුදාවේ පර්යේෂිකාවක වන ආචාර්ය ලොරේන් කොර්නල්, මානව පද්ධති ඉන්ජිනේරු මොනික් ගාසියා සහ ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥවරියක වන මැඩලින් විලිස් සෙසු කාන්තාවන්ය.

අඟහරු මතුපිටටත් අඟහරු කක්ෂයටත් ගවේෂණ යානා යවා ඇති නමුත්, 'පෝබෝස්' චන්ද්‍රයා ගවේෂණයට තවමත් කිසිදු ගවේෂණ යානයක් යවා නැත. කෙසේ නමුත් ඇමෙරිකාව සහ රුසියාව ගවේෂණ යානා යොදා ගනිමින් චන්ද්‍රයන් දෙදෙනා ඡායාරූපයට නගා තිබේ. ඉදිරි දශකයේ දී 'පෝබෝස්' ගවේෂණය කිරීමට ජපාන අභ්‍යවකාශ ඒජන්සිය ද සූදානම් වෙයි. ජපාන විද්‍යාඥයන් පවසා ඇත්තේ ඔවුන් 'පොබෝස්' මතුපිටට රොබෝ ගවේෂණ යානයක් යවා, පස් සහ දුවිලි සාම්පල පෘථිවියට ගෙන්වා ගැනීමට සූදානම් බවය.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS