ගගාරීන්ගේ වික්‍රමයට අවුරුදු 60 යි



ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය නිරවි යුද්ධයකට පැටළී, අභ්‍යවකාශය ජය ගැනීමට තරග කරද්දී, සෝවියට් දේශයේ වඩුවකුගේ පුතකු වික්‍රමයක් කළේය. මිනිස් ඉතිහාසයේ නොමැකෙන සටහක් තැබීය. එම වික්‍රමය කළ ඔහු යූරී ඇලෙක්සිවිච් ගගාරීන් ය. අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා ගගාරීන්ය. මිනිසා අභ්‍යවකාශ තරණය කිරීමේ සමාරම්භය සනිටුහන් කළේ ගගාරීන්ය. සෝවියට් ගගන වැඩසටහනේ පියා ලෙස සැලකෙන්නේත් යූරි ගගාරීන් ය. රුසියාවට පමණක් නොවේ ගගාරීන් මුළුමහත් මනුෂ්‍යවර්ගයාගේම වීරයෙකි. ගගාරීන්ගේ එම වික්‍රමයට වසර 60 ක් සපිරේ.


යූරි ගගාරීන් අභ්‍යවකාශයට ගියේ 1961 අවුරුද්දේ අප්‍රේල් 12 වැනිදා ය. එදා ඔහුගේ වයස අවුරුදු 27 කි. අද සෝවියට් දේශය එසේත් නැතිනම් සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටී ඇත්තේ ඊට අයත් වූ පළාත් වෙන් වෙන්ව රටවල් බවට පත් වෙමිනි. එසේ වුවත්, පෘථිවි කක්ෂයට යමින්, මිනිත්තු 108 ක් පුරා ගගාරීන් කළ අභ්‍යවකාශ වික්‍රමය රුසියානුවන් පමණක් නොව එදා සෝවියට් දේශයට අයත් සෙසු සාමාජිකයන් පවා අනුස්මරණය කරන්නේ මහත් ආඩම්බරයකිනි. සතුටිනි. අද වනවිට ගගාරීන් ජීවතුන් අතර නොමැත. ජෙට් අනතුරකින් මියගියත්, ගගාරීන් සහ ඔහු කළ වික්‍රමය සදා අමරණීයයි. 1961 අවුරුද්දේ අප්‍රේල් 12 වැනිදා ගගන ගමනට ගගාරීන් නිල වශයෙන් තෝරා ගැනුණේ ගුවන් ගත වෙන්න දින හතරකට පෙර 1961 අප්‍රේල් 9 වැනිදා ය. ගගාරීන් සමඟ තවත් අතිරේක අජටාකාශගාමියකුත් තෝරා ගෙන තිබුණු බව පැවැසෙයි. ඔහු හර්මන් ටිටෝ ය. ටිටෝ තෝරා ගෙන තිබුණේ, යම් හෙයකින් අවසාන මොහොතේ හෝ ගගාරීන්ට මෙහෙයුමට එක්වීමට නොහැකි වුවහොත් ඒ සඳහා එක් කර ගැනීමටය. ඒත් එවැන්නක් සිදුවූයේ නැත. අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා වීමේ ගෞරවය ගගාරීන්ට හිමිවිය. ගගන මෙහෙයුම සාර්ථක විය. 1961 අගෝස්තු 9 වැනිදා තවත් ගගන වික්‍රමයක් සිදුවිය. ඊට එක් වූයේ හර්මන් ටිටෝ ය. ඒ අනුව, ගගාරීන්ගෙන් පසු දෙවැනියට අභ්‍යවකාශයට ගියේ ඔහුය. හර්මන් ටිටෝ ඔහුගේ කැප්සියුලයේ රැඳී හිදිමින්, එක් දිනක් අභ්‍යවකාශයේ ගත කළේය.

පිටත් වීමට පෙර අප්‍රේල් 10 වැනිදා ගගාරීන් සහ ටිටෝ, ‘බයිකොනූර්’ අජටාකාශ මධ්‍යස්ථානයට පැමිණියහ. (සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වර්තමානයේ අයිති වෙන්නේ දකුණු දිග කසක්ස්තානයටය.) ගගාරීන්ට බිරිඳක් සහ දියණියෝ දෙදෙනෙක් වූහ. එදා, එනම් අභ්‍යවකාශයට යෑමට පෙර අප්‍රේල් 10 වැනිදා, ගගාරීන් ඔහුගේ ආදරණීය බිරිඳ වැලෙන්ටිනාට සහ දියණියන් දෙන්නා ලිපියක් ලියුවේය. වීර වික්‍රමයෙන් පසු, පවුලේ සියලු දෙනා, කොමියුනිස්ට්වාදී සෝවියට් සමූහාණ්ඩුවේ ඉතා වටිනා සාමාජිකයන් වනු ඇති බව ලිපියේ සඳහන් විය. තමා එම ගගන ගමනේ දී මියගියත්, අමරණීය වන බව ගගාරීන් ලිපියේ සඳහන් කළේය. අප්‍රේල් 11 වැනිදා දා රෑ ගගාරීන් සහ ටිටෝට නවාතැන් ගත්තේ බයිකොනූර් හි කුඩා ලීවලින් තැනූ නිවසකය. “මා හෙට උදෑසන අභ්‍යවකාශය බලා පිටත් වෙනවා. මේ වැඩේ සාර්ථක වේවිදැයි කියාවත් මාගේ විශ්වාසයක් නැහැ” යැයි ගගාරීන් එදා රෑ ඔහුගේ දින පොතේ සටහනක් තැබීය. එදා බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ එහි කටයුතු ලෝකයට රහසක් ලෙස පැවැතුණි. බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇත්තටම පිහිටා තිබුණේ කොතැනදැයි පවා 1960 ගණන්වල හුඟ දෙනෙක් දැන සිටියේ නැත.

1961 අප්‍රේල් 12 වැනිදා - වේලාව, මොස්කව් වේලාවෙන් පෙ.ව. 5:30 යි
අජටාකාශගාමීහු දෙන්නා අවදි වූහ. ඔවුන් යොමු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කෙරුණි. ඔවුන්ට ලැබුණේ සැහැල්ලු උදෑසන ආහාර වේලකි. ඉන්පසු ඔවුහු දෙන්නා ඔවුන්ගේ තැඹිලි වර්ණයෙන් යුත් අජටාකාශ ඇඳුම්වලින් සැරසුණාහ. ගගාරීන් රැවුල කැපුවේ නැත. වැදගත් මෙහෙයුමකට යද්දී රුසියානු ගුවන් හමුදා නියමුවන් රැවුල කපන්නේ නැත. එය වාසනාව ගෙන දෙනවා යැයි රුසියානු ගුවන් හමුදා නියමුවන් විශ්වාසයකි.

වේලාව පෙ.ව. 5:45 යි
ගගාරින් සහ ටිටෝ බයිකොනූර් මධ්‍යස්ථානයේ ‘වොස්ටොක් 1’ රොකට්ටුව පිටත් වීමට සූදානම් කර තිබූ පර්යන්තයට රැගෙන යනු ලැබුණේ නිල් පාට බස් රියකිනි. අතරමඟදී බස්රිය කුඩා නවාතැන්පොළක් අසල නතර විය. ඒ, ගගාරින්ට මුත්‍ර කිරීමට අවශ්‍ය වූ බැවිනි. එදා ගගාරීන් මුත්‍ර කිරීමට නැවැතුණු ස්ථානය අද සාම්ප්‍රදායික නැවැතුම්පොළක් බවට පත් වී තිබේ. අදත් බයිකොනූර් මධ්‍යස්ථානයෙන්, අභ්‍යවකාශය බලා යන ගගනගාමීන් මෙම නවාතැන්පොළට ගොඩවී යන බව පැවැසෙයි.

වේලාව පෙ.ව. 6:50 යි
බස්රිය පර්යන්තය බලා පැමිණියේය. බස්රියෙන් බිමට බසිද්දී, ගගාරීන් පිළිගැනීමට සර්ජි කොරොලෙව් පැමිණ සිටියේය. කොරොලෙව් ගගාරීන් වැලඳ ගනිමින් ඔහුට සුබ පැතුවේය. එතැන සිටි සේවකයකු ‘යූ.එස්.එස්.ආර්’ යන අරුත් දෙන අකුරු පෙළ ගගාරීන්ගේ හෙල්මට්ටුවේ සටහන් කළේ ද මෙම අවස්ථාවේදීය.

ගගාරීන්ගේ අභ්‍යවකාශ ගමන නිසා ඔහුගේ නමටත්, සෝවියට් දේශයටත් ඉමහත් කීර්තියක් අත් විය. කෙසේ නමුත්, මෙම වික්‍රමය සඳහා සියල්ල සැලැසුම් කළ මහ මොළකරුගේ නමට ප්‍රසිද්ධියක් ලැබුණේ නැත. සර්ජි කොරොලෙෆ් යනු ඒ, මොළකරුය. 1966 වසරේ දී මරණයට පත් වනතුරුම සර්ජි කොරොලෙෆ්ගේ නම රාජ්‍ය රහසක් වශයෙන් තබා ගැනීමට එදා සෝවියට් දේශය වග බලා ගත්තේය. ඒ වනතුරු මිනිසා විසින් තනා නො තිබුණු රොකට්ටුවක් හා විශේෂ කැප්සියුලයක් තනා ලොව ප්‍රථම අභ්‍යවකාශගාමියා ලෙස යූරී ගගාරින් අභ්‍යවකාශයට යැවීමේ කටයුත්ත පිටුපස සිටියේ අතිදක්ෂ ගණිතඥයකු ද වූ සර්ජි කොරොලෙෆ්ය.

කොරොලෙෆ්, ස්ටාලින්ගේ පාලන සමයේ දේශපාලන විරුද්ධවාදියකු ලෙස සලකා රුසියාවේ වහල් සිර කඳවුරක රඳවනු ලැබූ සිරකරුවෙක් ද විය. ස්ටාලින්ගේ අභාවයෙන් පසු බලයට පත් නිකිතා කෘෂෙප්ගේ පාලන සමයේ කොරොලෙෆ් ට නිදහස හිමිවිය. ඔහු සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනට සම්බන්ධ කෙරුණි. කොරොලෙෆ් අභ්‍යවකාශ වැඩසටහන වෙනුවෙන් අසීමිත වෙහෙසක් දරමින් කැපවීමෙන් කටයුතු කළේය. ගගාරීන් අභ්‍යවකාශයට ගෙන ගියේ ඔහු තැනූ ඒ සුවිශේෂ රොකට්ටුවෙනි. කොරොලෙෆ් මියගියේ 1996 වසරේදීය. ඒ වනවිටත් ඔහු මිනිසකු සඳට ගෙන යා හැකි විදියේ ‘එන් 1’ නමැති යෝධ රොකට්ටුවක් තනමින් සිටියේය. කෙසේ නමුත් මෙම රොකට්ටුව අවසන් වූයේ නැත. ගගාරීන් හදිසි අනතුරෙන් මිය යන විට ඔහුගේ සාක්කුවේ වොලට්ටුවේ තිබී හමුවුණු එකම ඡායාරූපය වූයේ ද සර්ජි කොරොලෙෆ්ගේය. ඊට අමතරව එහි තිබී ඇත්තේ ගගාරීන්ගේ රියැදුරු බලපත්‍රය සහ රූබල් එකොළහකුත් මුදලක් පමණි.

වේලාව පෙ.ව. 7:07 යි
ගගාරීන් ‘වොස්ටොක් 1’ ගගන කැප්සියුලයට ගොඩවිය. ගුවන්ගතවීම් ඇරැඹෙනතුරු ගගාරින් රේඩියෝ පණිවුඩ හරහා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි ඔහුගේ හිතවතුන් සමඟ සම්බන්ධ වී, ප්‍රසිද්ධ ගීත ගයන්නත්, විහිළු කතා කියන්නත් විය. කැප්සියුලයේ ඇති පදමට කෑම බීම ඇති බැවින්, ඒවා කෑමෙන් ගගාරීන් මහත් වේවි යැයි පවසමින් කොරොලෙෆ් විහිළු කරන්න විය. උඩු ගුවන බලා යෑමට ඔන්න මෙන්න කියා තිබියදී, අවසන් මොහොතේ කැප්සියුලට ඇතුළට සුළං ආ කුඩා සිදුරක් සොයා එයට මුද්‍රා තබා වසා දමන්නට පවා තාක්ෂණවේදීන් සමත් වූහ.

වේලාව පෙ.ව. 9.07 යි
‘වොස්ටොක් 1’ කැප්සියුලය රැගත් ‘වොස්ටොක්’ රොකට්ටුව පිටත් වෙද්දී “එහෙනම් යමු” යැයි ගගාරීන්ගේ මුවින් පිටවිය. එය ප්‍රකට වදන් පෙළකි. පසුව ඇමෙරිකානුවන් සිදු කළ ආකාරයේ 10 සිට 0 දක්වා ගණන් කිරීමක් බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී එදා සිද්ධ වුණේ නැත. සිදුවූයේ ගගාරීන් සහ සර්ජි කොරොලෙෆ් අතර පැවතුවුණු කතාබහක් පමණය. රොකට්ටුව උඩුගුවනට පිටත්ව යද්දී ගගාරීන්ගේ නාඩි වැටීමේ වේගය 150 ක් දක්වා ඉහළ ගොස් තිබුණැයි ද පැවැසෙයි.

වේලාව පෙ.ව. 9.09 යි
විනාඩි කිහිපයකට ගගාරීන් නිහඬ විය. ඒ, ඔහුගේ සිරුර ඉතා දැඩි ගුරුත්වබලයකට හසුවෙමින් පැවැති නිසාය.

වේලාව පෙ.ව. 9.12 යි
ගගාරීන් යළිත් රේඩියෝ පණිවුඩ හරහා සම්බන්ධ විය. “මට පෘථිවිය පේනවා. ඒක හරිම ලස්සනයි” ඔහු පැවැසීය.

වේලාව පෙ.ව. 10.02 යි
ගගාරීන් අභ්‍යවකාශයට ගිය ප්‍රවෘත්තිය සෝවියට් නිල ගුවන් විදුලි සේවයේ පුවත්වලින් ජනතාවට දැනුම් දුන්නේය.

වේලාව පෙ.ව. 10.09 යි
තමා පෘථිවියේ හිරු එළිය වැටුණු පැත්තේ සිට අඳුරු වූ පැත්තට මතුවී පැමිණි බව ගගාරීන් පැවැසුවේය. ඒ වන විට ඔහු පෘථිවි කක්ෂයේ කැරකීමට පටන්ගෙන තිබුණි.

වේලාව පෙ.ව. 10:25 යි
ගගාරීන් රැගත් කැප්සියුලය පෘථිවි කක්ෂයේ සිට යළි පෘථිවි වායු ගෝලයට ආපහු ඒම ආරම්භ කළේය. ආපසු ඒමට අවශ්‍ය රොකට්ටු දැල්වීය. ඒ මොහොතේ ගගාරීන් රැගත් කැප්සියුලය එක්වරම භ්‍රමණය වීමට පටන් ගත්තේය.

වේලාව පෙ.ව. 10:35 යි
යානය යළි පාලනය කර ගැනීමට හැකිවිය.

වේලාව පෙ.ව. 10:49 යි
සැලැසුම් කළ අන්දමට මීටර් 7,000 ක් ඉහළ අහසේ දී, ගගාරීන් කැප්සියුලයෙන් තමන් ගුවනට විදින බොත්තම ලීවරය තද කළේය.

වේලාව පෙ.ව. 10:55 යි
ගගාරීන් පහළට ගෙනා කැප්සියුලය පොළවට පතිත වූයේ ගගාරීන් පොළොවට පතිත වූ තැනට කිලෝ මීටර් 3 ක් පමණ දුරිනි.

වේලාව පෙ.ව. 10:57 යි
මීටර් 7,000 ක් ඉහත දී යානයෙන් මිදුණු ගගාරීන් බිමට ආවේ පැරෂූට් ආධාරයෙනි. ඒ, මධ්‍යම රුසියාවේ වොල්ගා පළාතේ සරටෝෆ් ආසන්න ගම්මානයක ගොවිපොලක් අසලටය. තැඹිලි පාට ගගන ඇඳුමකින් සැරසී, හෙල්මට්ටුවක් පැලඳ සිටි ගගනගාමියා මුලින්ම දුටුවේ ඇනා තක්ටරෝවා නමැති අත්තම්මා සහ ඇගේ සිවු හැවිරිදි මිණිබිරිය මාගරීටා ය. “ආත්අම්මා, ඒ පිටසක්වළ ජීවියෙක්” අමුතු ඇඳුමකින් සැරසිලා ආ මේ තැතැත්තා දැක්ක ගමන් පුංචි මාගරීටා ට කියැවිණි. “එදා මා දැක්කේ අපේ ගොවිපොළේ සිටින අමුතු විධියේ තැඹිලි පාට සත්වයෙක්. ඒ තැඹිලි පාට අමුතු සත්වයා ඇවිදගෙන ආවා අප දිහාවට.” අතීත මතකයන් අවදිකරමින් මාගරීටා බීබීසී පුවත් සේවය සමඟ පවසා තිබේ. ඒ අත්තම්මා අද ජීවතුන් අතර නැත. මාගරීටා අද අත්තම්මා කෙනෙකි.

“එදා මගේ ආත්අම්මා බය වුණේ නැහැ. එයා උදව් කළා ගගාරීන්ට ඔහුගේ හෙල්මට්ටුව ඉවත් කරන්න. ගගාරීන් කියලා දුන්නා හෙල්මට්ටුව ගලවන හැටි. බොත්තමක් එබූ ගමන් හෙල්මට්ටුවේ ඉදිරිපස ආවරණය (වයිසරය) ඉවත් වුණා. අප දැක්කේ අප සමඟ සිනහවෙමින් සිටින කඩවසම් තරුණයෙක්. එතකොටයි මගේ බය නැතිවුණේ. එතකොටයි මං දැනගත්තේ එයා පිටසක්වළ ජීවියෙක් නොවේ කියලා” මාගරීටා බීබීසී පුවත් සේවය සමඟ පැවැසුවේ, ගගාරීන්ගේ අභ්‍යවකාශ වික්‍රමයට වසර 60 ක් පිරීම නිමිත්තෙන් පැවැති සම්මුඛ සාකච්ඡාවේදීය.

ගගාරීන් පැරෂූටයකින් පොළොවට පැමිණි කාරණාව, රුසියානුවන් වසර ගණනාවක් ලොවෙන් වසං කර තිබුණි. ඒකට හොඳ හේතුවක් ද විය. එදා පැවති ගුවන් ගමන් නීති අනුව, ගුවන් ගමනක් සම්පූර්ණ වෙන්නේ, එහෙම නැතිනම් වලංගු වෙන්නේ, ගගනගාමියා ගගන යානයකින් අහසට ගොස් යළිත් එම යානයෙන්ම නිරුපද්‍රිතව පොළොවට ආවොත් පමණය. ඒත් මෙහිදී ගගාරීන් ආපහු පොළොවට ආවේ පැරෂූට් ආධාරයෙනුයි.

හමුදාවේ හෙලිකොප්ටර් යානයක් පැමිණ ගගාරීන් රැගෙන ගියේ එන්ගල්ස් නගරයටය. එහිදී ඔහුට විදුලි පණිවුඩයක් ලැබුණි. ඒ, සෝවියට් නායක නිකිතා කෘෂෙප්ගේ සුබ පැතුම් ද සමඟය. ගගාරීන්ට බිරිඳ වැලෙන්ටිනා සමඟ කතා බහ කරන්නත් අවස්ථාවක් ලැබුණි. අප්‍රේල් 13 වැනිදා ගගාරීන්ව යොමු කෙරුණේ, කුයිබිෂේව් පළාතේ වොල්ගා නගරයේ (අද සමාරා නගරයේ) විශේෂ සෞඛ්‍ය මධ්‍යස්ථානයටය. අභ්‍යවකාශතරණයෙන් පසු සිරුරේ ක්‍රියාවලීන් යළි යථා තත්ත්වයට පත්වන තෙක් ගගාරීන් විවේක ගත්තේය. ගගාරීන් මොස්කව් නුකෝවෝ ගුවන්තොටුපොළට පැමිණියේ අප්‍රේල් 14 වැනිදාය. රුසියානුවෝ දහස් ගණනින් මඟ දෙපස රැස්වෙලා මල් ඉසිමින් ප්‍රීතිඝෝෂා කරමින් ඔවුන්ගේ ජාතික වීරයා පිළිගත්හ. ගගාරීන් රතු චතුරස්‍රය බලා ගමන් කළේ වහලය ඇරපු මෝටර් රථයකිනි. මඟ දෙපස සිටි පිරිසට අතවනමින් ඔවුන්ගේ සුබ පැතුම් පිළිගනිමිනි. ගගාරීන් සෝවියට් නායක නිකිතා කෘෂෙප් හමුවීමට ද ගියේය. කෘෂෙප් ගගාරීන් පිළිගත්තේ ඔහු වැළඳගනිමිනි. ලෙනින්ගේ ස්මාරකය අසල සිට ගගාරීන් විශේෂ කතාවක් පැවැත්වූයේ මෙම අවස්ථාවේදීයි. ඒ කතාව සෝවියට් ගුවන් විදුලිය හරහා මුළු සෝවියට් දේශය පුරාම විකාශය කෙරුණි.

සෝවියට් අගමැති නිකිතා කෘෂෙප් ඔවුන් මේ ලද ජයග්‍රහණයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කල්පනා කළේය. ඒ අනුව, ලෝක චාරිකාවක් සංවිධානය කෙරුණි. ගගාරීන් ලෝකය වටා ගියේය. රුසියානුවන් මේ ලෝක සංචාරය හැඳින්නුවේ ‘සාම සවාරිය’ යන නමිනි. ඒ යන ගමනේ දී බ්‍රිතාන්‍යයේ එලිසැබත් මහ රැජිනත් හමුවිය.

ගගාරීන් ශ්‍රී ලංකාවටත් පැමිණියේය. මහනුවරට විශේෂ දුම්රියකින් ද ගියේය. දළදා මාළිගය නැරඹීමට ගියේය. තවත් විශේෂ ස්ථාන කීපයකට ම ගියේය. මග දෙපස රැස්ව සිටි විශාල ජනකායට අමතරව පාසල් දරු දැරියන් පාර දෙපස පෙළ ගැසී ඔහුට ආචාර කරන්න විය. ශ්‍රී ලංකා සංචාරය නිමා කරද්දී, ගගාරීන් පුවත්පත් සාකච්ඡාවකට එක් විය.

ශ්‍රී ලංකාවේ ලස්සන ගැන වර්ණනා කළ ගගාරීන් සාකච්ඡාවක දී අමතක නොවන සුවිශේෂී අත්දැකීමක් ගැන ද පැවැසීය. ‘උඩු ගුවනට යද්දී මට එච්චර බයක් ඇති වුණේ නැහැ. ඒත් මහනුවර දී මා නැවතී සිටි හෝටලයේ විදුලි සෝපානය විදුලිය නැතිව අතරමග හිර වූ අවස්ථාවේ දී නම් මං හොඳටම බය වුණා. ඒක මට ජීවිතේට ම අමතක වෙන එකක් නැහැ.’ ගගාරීන් එසේ කීවේ අපේ පුවත්පත්කලාවේදීන් සිනහ ගන්වමිනි.

යූරි ගගාරීන් මියගියේ 1968 වසරේ මාර්තු 27 වැනිදාය. ඒ ඔහු ගමන් කළ ‘මිග්’ ප්‍රහාරක ගුවන් යානය පුහුණු පියසැරියක දී අනතුරට පත් වීම නිසාය. අනතුර සිදුවෙද්දී ගගාරීන්ගේ පුහුණුකරු වැලැඩිමීර් සර්යෝජීන් ද ගුවන් යානයේ සිටියේය. ඔහුත් අනතුරින් මියගියේය. අනතුර සිදුවූයේ මොස්කව් නුවරට ඔබ්බෙනි. මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් නොයෙක් විදියේ අදහස් පළ වී ඇත. කෙසේ වුවත්, අනතුරට හේතුව තවමත් අබිරහසකි. අනතුර සිදුවූ අයුරු තවමත් හරිහැටි පැහැදිලි වී නැත. අනතුර ගැන සෙවීමට පත් කළ විශේෂ පර්යේෂණ කණ්ඩායම් පවසා ඇත්තේ යානය, කිසියම් ‘පියසැරි වස්තුවක්’ මඟ හරින්න හැටිහැටියේ උත්සාහ කළ බැවින්, එය පාලනයෙන් ගිලිහී කඩා වැටුණු බවය. යානයේ නියමු කුටියට ප්‍රමාණවත් අන්දමින් ඔක්සිජන් නොමැති වීම නිසා යානය අනතුරට පත් වුණු බවත් අනුමාන කෙරේ.

1957 වසරේ ‘ස්පුට්නික් 1’ චන්ද්‍රිකාව පළමුවරට පෘථිවි කක්ෂයට යැවීමත් සමඟ සෝවියට් දේශයේ හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර ආරම්භ වූ අභ්‍යවකාශ තරගය, ගගාරීන්ගේ සහ කොරොලෙෆ්ගේ මරණයෙන් අවුරුදු දෙකකට පසු නිමාවට පත්විය. අද දේශපාලනික වශයෙන් මත ගැටුම් පැවැතියත්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මත ගැටුම් පැවැතියත්, ඇමෙරිකාවේ නාසා ආයතනය සහ රුසියානු අභ්‍යවකාශ ආයතනය එක් වී වැඩ කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS

RELATED POSTS