කියු ආර් කේතයේ කතාව



‘කියු ආර් කෝඩ්’ (කියු ආර් කේතය) යනු මේ දිනවල අප කා අතරේත් වඩාත් කතාබහට ලක් වන වදනකි. රටේ පවතින ඉන්ධන හියට පිළියමක් ලෙස, බෙදා හරින ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමේ අරමුණින් රජය ඉන්ධන ලබා ගැනීම සඳහා ‘කියු ආර් කෝඩ්’ ක්‍රමය හඳුන්වා දුන්නේය. ඉන්ධන පාරභෝගිකයා, සිය හැඳුනුම්පත් අංකය, භාවිත කරන වාහනයේ විස්තර ආදී තොරතුරු ලබා දී ලියාපදිංචි වීමෙන් පසු  ඊට අදාළ කියු ආර් කේතය හිමිවෙයි.

ලියාපදිංචි වූ එක් එක් පුද්ගලයාගේ දත්ත ඇසුරින් කියු ආර් කේතය නිර්මාණය වෙයි. ඉන්ධන හලට ගොස් ඉන්ධන ලබා ගැනීමේ දී තමන්ට හිමි කියු ආර් කේතය ඉදිරිපත් කළ යුතු වන අතර, පිරවුම්හලෙන් එම කේතය ස්කෑන් කරයි. එසේත් නැතිනම් ‘කියැවීම’ කරයි. එවිට එම සතියේ නියමිත ඉන්ධන ප්‍රමාණය කොපමණදැයි ඉන්ධන පිරවුම්හලේ සේවයකන් දැන ගන්නා අතර, ඒ අනුව එම නියමිත ඉන්ධන ප්‍රමාණය ලබා දෙයි. පාරිභෝගිකයා සතියකට අදාළව ලබා ගන්නා ඉන්ධන ප්‍රමාණය, ඉතිරි ඉන්ධන ප්‍රමාණය ආදී සියලු විස්තර ඒ මගින් දැක ගත හැකියෙටි.

කියු ආර් කේතය QR code යනු හදිසි ප්‍රතිචාර දැක්වීමේ කේතය (Quick Response Code) යන්නෙහි කෙටි අරුතය. මෙය ද්විමාන ආකාරයේ බාර් කෝඩය (two-dimensional barcode) කි. කියු ආර් කේතය කරළියට පැමිණීමට පෙර, ලෝකයේ පැවැතියේ බාර්කෝඩ්  barcode ක්‍රමයයි.

බාර්කෝඩ් ක්‍රමය අදත් භාවිතයට ගැනෙයි. බාර්කෝඩ්වලට ද ඇතුළත් වන්නේ භාණ්ඩවල විස්තරය. කෙසේ නමුත් බාර්කෝඩ් ක්‍රමයේදී ඊට ඇතුළත් කළ හැකි විස්තර ප්‍රමාණය සීමා සහිතය. දැවන්ත ව්‍යාපාරික සමාගම්වලට මෙය ගැටලුවක් විය.

ඒ, 1994 වසරයි. ජපන් මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයකු මෙන්ම, ටොයොටා සමාගමට අනුබද්ධ ‘ඩෙන්සෝ වේව්’ සමාගසම ගැටලුවකට මුහුණ දී සිටියේය. ගැටලුව නම්, වැඩි දත්ත ප්‍රමාණයක් ඇතුළත් කළ හැකි ආකාරයේ බාර්කෝඩයක් ඔවුන්ට අවශ්‍ය වීමය. ජපන් ජාතික ඉංජිනේරුවකු වන මසාහිරෝ හාරා ඩෙන්සෝ වේව්’ සමාගමේ සේවකයෙකු විය. වැඩි දත්ත ප්‍රමාණයක් ඇතුළත් කළ හැකි බාර්කෝඩයක් නිර්මාණය කිරීමේ අසීරු කටයුත්ත පැවැරුණේ මසාහිරෝ හාරා සහ ඔහුගේ කණ්ඩායමටය. මසාහිරෝ, ජපානයේ හොසෙයි විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

‘ඩෙන්සෝ වේව්’ සමාගම මුහුණ දෙමින් සිටි ගැටලුව වූයේ, මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනයේ දී, ඒවා වෙන්කර, යන්ත්‍රාණුසාරයෙන් පහසුවෙන් හඳුනාගැනීම සම්බන්ධයෙනි. ඒ සඳහා දත්ත ඇතුළත් කළ හැකි නව බාර්කෝඩයක් නිර්මාණය කිරීම මසාහිරෝ හාරා සහ ඔහුගේ කණ්ඩායමට අභියෝගයක් විය. ඇත්තෙන්ම එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවිණි.

දිනක්, මසාහිරෝ දිවා ආහාරය ගැනීමට වාඩි විය. දිවා ආහාරය ගන්නා අතරතුරේ ‘ගෝ’ (Go) නමැති ක්‍රීඩාවේ නියැළීම, මසාහිරෝගේ පුරුද්දකි. ‘ගෝ’ (Go) යනු මීට වසර 5000 කට පමණ පෙර චීන ජාතිකයන් ලොවට හඳුන්වා දෙන ලද ක්‍රීඩාවකි. සුදු සහ කළු ඉත්තන් ක්‍රීඩාවේදී භාවිතයට ගැනෙයි.

සුදු සහ කළු ඉත්තන් ක්‍රීඩාවේ යොදාගන්නා අයුරින් වාහන අමතර කොටස් ද වෙන් වෙන්ව හඳුනාගත හැකි ක්‍රමයක් සකසන්න පුළුවන් නේදැයි මසාහිරෝගේ සිහියට නැගුණි. කියු ආර් කේතයේ උපත එසේ සිදුවිය. එම සිතුවිල්ල ගැන මසාහිරෝ මෙසේ පවසා තිබේ.

‘එදා කෑම පැයේදී මා ‘ගෝ’ ක්‍රීඩාවේ නියැළෙනවා. එක දවසක් සුදු සහ කළු ඉත්තන් ක්‍රීඩා පුවරුවේ සකසද්දී මට එය කල්පනා වුණා. දත්ත කෙළින්ම ඉදිරිපත් කරන ආකාරය කල්පනා වුණා. ඒක ආකිමිඩීස් යුරේකා යුරේකා කියා කෑ ගැසූ අවස්ථාට සමානයි’ යැයි මසාහිරෝ පැහැදිලි කර ඇත.

මසාහිරෝ උපත ලැබුවේ 1957 ටෝකියෝ නුවරදීය. කියු ආර් කේතය හඳුන්වා දෙද්දී, මසාහිරෝගේ වයස අවුරුදු 35 කි. මසාහිරෝ, සිය කැමැත්තෙන්ම, කියු ආර් කේතය සම්බන්ධයෙන් පේටන්ට් අයිතිය තබා නොගෙන එය ලෝකය සමග බෙදා ගැනීමට තීරණය කළේය. ඒ අනුව අද වනවිට ඕනෑම අයකුට කිසිදු අවසරයකින් තොරව කියු ආර් කේත නිර්මාණය කළ හැකිය. එසේ කිරීමට වෙබ් අඩවි රැසකි. මසාහිරෝ, තවමත් ජීවතුන් අතර සිටී.

අද වනවිට කියු ආර් කේතය ආකාර කිහිපයකින් භාවිත කෙරේ. ඒ Micro QRC, iQRC, Frame QRC ආදී වශයෙනි. කියු ආර් කේතය සඳහා කල් ඉකුත් වීමක් නැත. කේතයේ, ‘quick link’ කොටස ක්‍රියාකාරීව පවතිනතුරු භාවිත කළ හැකිය. කියු ආර් කේතයේ මුද්‍රිත පිටපතක් ඔබ සතුව ඇතිනම්, යම් එහෙකින් ඊට හානියක් සිදුවුවහොත්, කේතයේ සියයට 30 ක් හෝ පැහැදිලිව තිබෙන්නේ නම් ස්මාට් දුරකතනයකින් එය ‘කියැවීම’ කළ හැකිය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කියු ආර් කේත ක්‍රමය  ලංකාවට හඳුන්වා දෙන ලද්දේ 2019 දී අංක 22 දරන චක්‍රලේඛය අනුවය. බලපත්‍රලාභී බැංකු, ලියාපදිංචි මුදල් සමාගම් සහ මූල්‍ය කේෂ්ත්‍රයේ අනෙකුත් අයතන වෙත මෙම ක්‍රමය භාවිතයට උපදෙස් ලබා දුන් අතර, අප අසල්වැසි ඉන්දියාව, මෙම ක්‍රමය භාවිත කරන්නේ 2016 වසරේ සැප්තැම්බරයේ සිටය. මෙ වන විට ලොව බොහෝ රටවල් කියු ආර් කේත ක්‍රමයෙහි ප්‍රයෝජන භුක්ති විඳිමින් සිටී.

කියු ආර් කේතය තුළ සමචතුරස්‍රාකාර කොටු 3 ක් සහ තවත් කළු සහ සුදු කොටු රටා දක්නට ලැබේ. දත්ත ඇතුළත් වී තිබෙන්නේ මෙම කොටු තුළය. මෙම කොටුවල උපරිම වශයෙන් ඉලක්කම් 7089 ක් සහ අක්ෂර 4296 ක් ගබඩා කළ හැකිය.

කියු ආර් කේතයක අඩංගු දත්ත ‘කියැවීම’ කළ හැක්කේ ස්මාට් ජංගම දුරකතනයකින් හෝ ටැබ් යන්ත්‍රයකිනි. කියු ආර් කේත ‘කියැවීමට’ ඒ සඳහා අවහ්‍ය මෘදුකාංග ස්මාට් ජංගම දුරකතනයේ හෝ ටැබ් යන්ත්‍රයේ හෝ තිබිය යුතුය. ස්මාට් දුරකතනයේ හෝ ටැබ් යන්ත්‍රයේ හෝ කැමරාව, කියු ආර් කේතයට ඇල්ලූ විට, එසැණින් එම කේතයේ ඇති දත්ත ‘කියැවීම’ සිදුවෙයි.

විකිපීඩියා ඇසුරිනි


RECOMMEND POSTS