පෘථිවි කක්ෂයේ දැවැන්ත යානයක්



ලෝකයේ ප්‍රබල ආර්ථිකයකට හිමිකම් කියන චීනය තවත් හපන්කමකට සැරැසෙයි. එය එසේ මෙසේ හපන්කමක් නම් නොවෙයි. චීනය දැන් සූදානම් වෙන්නේ ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු තවත් පියවර කීපයක් ඉදිරියට තබමින්, පෘථිවි කක්ෂයේ අති දැවැන්ත අභ්‍යවකාශ යානයක් තැනීමටයි.

මෙම යානයේ පළල කිලෝ මීටරයක් වනු ඇති බවත්, චීන ඉන්ජිනේරුවන් විසින් නිපදවනු ලබන කොටස්, පෘථිවි කක්ෂයට ගෙන ගොස් එකලැස් කරමින් යානය පෘථිවි කක්ෂයේදී නිර්මාණය කිරීමට චීන අභ්‍යවකාශ ආයතනය මේ වනවිටත් පිඹුරුපත් සකසා අවසන් බවත් චීන පුවත් සේවා වාර්තා කර තිබේ.

මේ වනවිට පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට වඩා මෙම යානය දස ගුණයකින් විශාල වනු ඇතැයි චීන පුවත් සේවා පෙන්වා දෙයි.

කිලෝ මීටරයක් තඑම් විශාල අති දැවැන්ත අභ්‍යවකාශ යානයක් නිර්මාණය කිරීම චීනයට ලොකු අභියෝගයක් වනු නොඅනුමානය. රොකට්ටු මගින් අවශ්‍ය උපාංග රැගෙන යෑම, ගගනගාමීන් රැගෙන යෑම, ශුන්‍ය ගුරුත්වයේ එකලැස් කිරීමේ වැඩ කටයුතු කිරීම ආදිය විශාල අභියෝගයක් වනු ඇති බවත්, එම අභියෝගයට තමන් මුහුණ දීමට සූදානම් බවත් චීන විද්‍යාඥයෝ පවසති.

මේ වනවිටත් චීන අභ්‍යවකාශ ආයතනය පෘථිවි කක්ෂයේ කුඩා අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කිරීම ආරම්භ කර තිබේ. ඔබ මේ සටහන කියවන මොහොතේ දී පවා චීන ගගනගාමීන් තිදෙනකු එම අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් කටයුතු සිදු කරයි.

ප්‍රමාණයෙන් බස් රථයක් තරම් 'ටියැංගොන්' නමැති මෙම චීන අභ්‍යවකාශ නැවතුම්පොළ අදියර කීපයක් යටතේ එකලැස් කිරීම ආරම්භ කළේ පසුගිය අප්‍රේල් මාසයේදීය. මෙය සැතපුම් 236 ක් ඉහළින් පෘථිවි කක්ෂයේ රඳවා තිබේ.

'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළ සම්පූර්ණ කිරීමට තවත් ගගන මෙහෙයුම් 11 ක් සිදුවනු ඇතැයි චීනය පවසයි. ඉදිරියේ දී චීනය සඳ තරණය කිරීමටත්, ඉන්පසු අඟහරු තරණය කිරීමටත් සූදානම් වෙයි. එම කටයුතු සිදුවන්නේ 'ටියැංගොන්' නවැතුම්පොළ ඉදි කිරීමෙන් පසුවය.

'ද සන්' ඇසුරිනි


RECOMMEND POSTS