දරුණුතම ස්වභාවික ව්‍යසනය



තුර්කිය සහ සිරියාව කැලැඹූ ප්‍රබල භූමි කම්පාව දරුණුතම ස්වභාවික ව්‍යසනයකි. පසුගිය පෙබරවාරි 6 වැනිදා අලුයමත්, ඉන්පසු සවසත් ප්‍රබල භූමි කම්පා දෙකකින් සහ පසු කම්පන 120 කින් පමණ තුර්කිය සහ සිරියාව දෙදරා ගියේය.

භූමි කම්පාවෙන් වැඩියෙන්ම හානි වූයේ තුර්කියටය. තුර්කියේ සහ සිරියාවේ මියගිය ගණන මේ වනවිට 50,000 පසු කර ඇති අතර, තවමත් පවුල් පිටින් සුන්බුන් අතරින් සොයා ගැනීම සිදුවෙයි. පසුගිය 6 වැනිදා හටගත් පළමු භූමි කම්පාව, රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් සටහන් කළේය. එම භූමි කම්පාව හටගත්තේ තුර්කි වේලාවෙන් අලුයම 4.17 ටය. එවේලේ ඒ නගරවල බොහෝ දෙනා සිටියේ නින්දේය.

භූමි කම්පාවෙන් දෙදෙරා ගිය දැවැන්ත. තට්ටු ගොඩනැගිලි, නිවාස සංකීර්ණ බිමට කඩා හැළුණේ ඒවා තුළ සිටි අය සුන්බුන් අතර සිරකරමිනි. මහා කම්පනයෙන් පසු ආ පසුකම්පන මාලාව නිසා තත්වය තවත් උග්‍ර විය. 6 වැනිදා සවස දෙවැනි භූමි කම්පාව හටගත්තේ තුර්කි වේලාවෙන් සවස 1.47 ටය. එය රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක ප්‍රබලත්වයක් සටහන් කළේය. එයින් ඉතිරිව තිබූ ගොඩනැඟිලිත් බිමට සමතලා විය. තුර්කිය මෙසේ ප්‍රබල භූමි කම්පා දෙකකින් සහ පසුකම්පනවලින් කැලැඹී මහා ව්‍යසනයකට මුහුණ දුන්නේ වසර 36 කට පසුවය. අවසන් වරට මහා භූමි කම්පාවක් තුර්කිය වැනසුවේ 1939 වසරේදීය. එයින් මියගිය ගණන 35,000 පසු කර තිබේ. කෙසේ නමුත්, පසුගිය 6 හටගත් භූමි කම්පාව ඊට සමාන කළ නොහැකිය. සිදුවුණු විනාශය අතිමහත්ය.

පෘථිවි ශිලාගෝලය, පෘථිවියේ පිටතින් ඇති ආවරණයයි. පෘථිවි ශිලාගෝලය සෑදී ඇත්තේ විවිධ හැඩයන් සහ ප්‍රමාණයෙන් යුත් භූ තැටි 15 කින් පමණය. මෙම භූ තැටි හදිසියේ, ප්‍රතිවිරුද්ධ අතට, එකමත එක ඇතිල්ලී ලිස්සා යයි. එවිට භූමිය කැලැඹෙයි; කම්පා වෙයි. භූමි කම්පාවක් යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. පසුගිය 6 වැනිදා තුර්කිය සහ සිරියාව කැලැඹුවේ, තුර්කියට යටින් පෘථිවියේ කබොල්ලෙහි ඇති භූචලන තැටි තුනක් එකමත එක ගැටීමෙනි.

හටගත් භූමි කම්පාව කොතරම් ප්‍රබලදැයි කීවොත්, අද වනවිට තුර්කිය, සිරියාව දෙසට මීටර තුනකින් (අඩි 10 ක්) පමණ තල්ලු වී ගොස් ඇත. තවත් පැහැදිලි කළොත්, තුර්කියේ පිහිටීම වෙනස් වී ඇත. පසුගිය 6 වැනිදා අලුයම එකිනෙක ගැටීම සිදුවූයේ ඇනටෝලියානු තැටිය, අරාබි තැටිය හා යුරේෂියානු තැටිය යන භූ තැටි තුනය. එයින් ඇනටෝලියානු හා අරාබි චලන තැටි අතර වූ ගැටීම නිසා කිලෝමීටර 225ක විභේදනයක් නිර්මාණය වී ඇතැයි භූ විද්‍යාඥයෝ පැහැදිලි කරති. කිලෝමීටර් 18ක් පොළොව යටින් සිදු වූ මෙම ගැටීම තුර්කියේ ගේෂියන්ටෙප් නමැති නගරය අපිකේන්ද්‍රය කර ගනිමින් භූකම්පනයක් ලෙස මතුපිටට ආවේය.

භූකම්පනයක් ඇති වීම කල් ඇතිව දැන ගන්න ක්‍රමයක් නැත. එසේ වුවත් භූචලන තැටිවල පිහිටීම අනුව භුකම්පන ඇති විය හැකි ප්‍රදේශ හඳුනා ගෙන තිබේ. ඒ අනුව, ඒවායින් අවම හානි ලබා ගැලවෙන උපදෙස් දිය හැකිය. තුර්කිය සිරියාවට අමතරව, ඉතාලිය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඉරානය, නේපාලය, ඉන්දුනීසියාව, ජපානය, නවසීලන්තය ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය නවිරන්තරයෙන් භූමි කම්පාවලින් බැටකයි. ඊට හේතුව, මෙම රටවල් පිහිටා ඇත්තේ භූ තැටි මායිම්වලට ඉහළින් වීමය.

පසුගිය 6 වැනිදා හටගත් භූමි කම්පාවෙන් පසු තුර්කියට සහ සිරියාවට විදෙස් ආධාර නොඅඩුව ලැබෙන්න විය. සිරියාවේ සිවිල් යුද්ධයක් පවතී. ඒ, 2012 වසරේ සිටය. භූමි කම්පාවෙන් වැඩිපුර හානි සිදුවූයේ සිරියානු රජයට විරුද්ධ, එරට විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකරුවන්ගේ පාලනය යටතේ පවතින පළාත් සහ නගරය. ඇලෙප්පෝ නගරය ද එයින් එකකි. සිරියාවේ පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, එරට විපතට පත්වූවන්ට ආධාර ලබා දීම සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි. ඊට සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ද සහාය ලැබී ඇත.

රටවල් රැසක දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්, වෛද්‍ය කණ්ඩායම් තුර්කිය බලා පැමිණ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය 7 වැනිදා සහ 8 වැනිදා සිටය. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් භූමි කම්පාවෙන් සිදුවුණු මහා විනාශය දැක බලා ගැනීමට තුර්කියට ගියේය. දිවා රෑ නොබලා වෙහෙස මහන්සිය නොබලා දිවි ගලවා ගැනීම් ආරම්භ විය. කුඩා දරුවන්, තරුණ තරුණියන් පමණක් නොව සුන්බුන් අතර සිරවී සිටි බලු සුරතලුන් පවා මුදා ගන්නා දසුන් හද කම්පා කළේය. අධික ශීතලත්, හිම පතනයත් හේතුවෙන්, සුන්බුන් අතර සිරවුණු අය වෙත මාරයාට කලින් ළඟා වීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් කාලය සමඟ සටන් කරන්න විය. කලින් සඳහන් කළාක් මෙන් අනුවේදනීය තත්වයක් දකින්නට ලැබුණේ ඊට අසුවූ කුඩා දරුවන් බේරා ගැනීම්වලදීය.

පෙබරවාරි 6 වැනිදා සිදුවුණු දැවැන්ත භූකම්පාවට අසුවූ සිරියාවේ ජින්දේරිස් හි නිවසක සුන්බුන් අතර හිර වූ මවක් දරුවකු ප්‍රසූත කළාය. දරුවා ජීවතුන් අතරය. ඒත් දරුවාගේ මව පමණක් නොව පවුලේ අය සියලු දෙනාම මරණයට පත්වූහ. අසල්වැසි ඥාතීන් සුන්බුන් අවුස්සද්දී කටහඬක් ඇසී තිබේ. පසුව දිවි ගැලවුම් කරුවන් කොන්ක්‍රීට් කපා බලද්දී උපන් හැටියේ බිළිඳා හමු වී තිබේ. ඒ වන විටත් දරුවා පෙකණිවැලෙන් මවට සම්බන්ධව සිටි අතර මව මියගොස් සිටියාය.

තවත් තැනක අහ්මඩ් නම් පුංචි පුතා මුදා ගෙන ඇත්තේ කොන්ක්‍රීට් සුන්බුන් අතරින් මතු වූ කකුලක ඇඟිලි තුනක් දැකීමෙන්. ඒ සිරියාවේ ක්වාටාමාවලය. දකුණුදිග තුර්කියේ හුල්යා යිල්මාස් සහ අයිස් වේරා නම් ඇගේ දරුවා ගලවා ගනු ලැබුවේ භූ කම්පාවෙන් පොළොවට සමතලා වූ ගොඩනැඟිල්ලට යටවී පැය 29කට පසුවය.

සිරියාවේ ඇෆ්රින්වලින් ආ වීඩියෝවකින් දැක්වුණේ දිවි ගැලවුම්කරුවන් කොන්ක්‍රීට් සුන්බුන් අතරින් කුඩා දැරියක මුදා ගනිද්දී ඇගේ අතින් අල්ලාගෙන ඇගේ පියා ඇයව සනසමින් සිටි ආකාරයයි. පින්තූරයේ පියා පෙනෙන්නට සිටියත් ඇය වෙනුවට, පෙනෙන්නට තිබුණේ ඇගේ අත පමණයි. ‘තාත්තා ඔයා ළඟ ඉන්නවා. බය වෙන්න එපා!’ පියා කොඳුරමින් සිටියේය. තවත් වීඩියෝවකින් දැක්වුණේ හඳුනා නොගත් තැනක සිට ඔවුන් ගලවා ගන්නා ලෙස ඉල්ලමින් කුඩා දැරියන් දෙදෙනකු එවූ ට්විටර් පණිවිඩයකි. සුන්බුන් අතර සිර වී සිටින ඔවුන් ඉක්මනින් ගලවා ගන්නා ලෙස ඒ පණිවිඩයෙන් ආයචනය කර තිබුණි.

පසුගිය සති අන්තයේ තුර්කි රජය නිවේදනය කළේ 6 වැනිදා සිදුවුණු භූමි කම්පාවෙන් දරුණු ලෙස හානි සිදුවුණු පළාත් දෙකක හැර සෙසු පළාත්වල දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කරන බවය. එසේ නිවේදනය කර පැය කීපයක් ගතවුණා පමණි.

රික්ටර් පරිමාණයේ ප්‍රබලත්වය ඒකක 6.4 ක් සටහන් කළ තවත් අලුත් භූමි කම්පාවකින් තුර්කිය සහ සිරියාව කැලැඹුවේය. මෙම නව භූමි කම්පාවෙන් කැලැඹුණේ ද පසුගිය 6 වැනිදා භූමි කම්පාවෙන් හානි සිදුවුණු පළාත් යැයි පැවැසිණි. නව භූමි කම්පාවෙන් තුර්කියේ සහ සිරියාවේ 12 දෙනකු මියගිය බවත් 300 කට වැඩි දෙනකු තුවාල ලැබූ බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

මහා විනාශයක් සිදු කළ හැක්කේ රික්ටර් පරිමාණයේ ඒකක 7 ට වඩැ වැඩි භූමි කම්පාවලටය. රික්ටර් පරිමාණයේ ඒකක 8 ක් හෝ 9 ක් හෝ වාර්තා කරන්නේ නම් එම භූමි කම්පාවෙන් සිදුවන හානිය වචනයෙන් විස්තර කළ නොහැකිය. රික්ටර් පරිමාණයේ ඒකක 6.0 සිට 6.9 දක්වා ප්‍රබලත්වයක් පෙන්නුම් කරන භූමි කම්පාවලින් ද සැලැකිය යුතු හානියක් සිදුවෙයි.  

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS