ඊශ්‍රායල නව රජයත් ගාසා තීරයට පහර දෙයි



ඊශ්‍රායල ගුවන් හමුදාව ඊයේ (15) ගාසා තීරයේ හමාස් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.

ඊයේ (15) ගසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට, දල්වන ලද බැලූන් එවීමට පලස්තීන හමාස් සාමාජිකයන් කටයුතු කළ බව පැවැසෙයි. එය ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බැවින්, වහා ඊට ප්‍රතිචාර දක්වා හමාස් ත්‍රස්තවාදීන්ට අයත් ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ගුවන් හමුදාව කියයි.

ඊශ්‍රායල විපක්ෂ දේශපාලන පක්ෂ සන්ධානගත වී, වසර 12 ක බෙන්ජමින් නෙදන්යාහු පාලනය අවසන් කිරීම සඳහා රජයක් පිහිටුවා ගැනීමෙන් පසු ගාසා තීරයට එල්ල වුණු පළමු ප්‍රහාරය මෙයයි.

පසුගිය මැයි 21 වැනිදා ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර සටන් විරාමයක් ආරම්භ විය. ඒ, දින 11 ක් තිස්සේ පැවැති ගැටුම් අවසන් වීමෙන් පසුවය. ඊයේ (15) ගුවන් ප්‍රහාරයත් සමඟ එම සටන් විරාමය අවසන් විය. පසුගිය මැයි 21 දක්වා දින 11 කි තිස්සේ ගාසා තීරයට ඊශ්‍රායලයෙන් එල්ල වූ ප්‍රහාර හේතුවෙන්, පලස්තීනුවන් 256 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඒ අතර කුඩා දරුවෝ 66 ක් වෙති.

බෙන්ජමින් නෙදන්යාහුගේ පාලනය අවසන් කරමින් බලයට පත් වූයේ දක්ෂිණාංශික, වාමාංශික, මධ්‍යස්ථ සහ අරාබි දේශපාලන පක්ෂ එක් වී සන්ධානගත වෙමිනි. මෙම සන්ධාන රජයට ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ (නෙසට් සභාව) අනුමැතිය හිමිවූයේ එක් වැඩි ඡන්දයකින් වීම විශේෂත්වයකි. නව සන්ධාන රජයේ නව අග්‍රාමාත්‍යවරයා වන්නේ අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයකු වන නෆ්තාලි බෙනට් ය.

පෙරේදා 14 වැනිදා අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී ඊශ්‍රායල සහ දේශපාලන කණ්ඩායම් එක් වී, පලස්තීනුවන්ට විරෝධය දක්වමින් පෙළපාළියක් පැවැත්විය. බෙනට්ගේ නව රජයේ අනුමැතිය පවා ඊට හිමිවිය. ඊට ප්‍රතිචාර දක්වමින්, ගාසා තීරයේ පලස්තීනුවෝ දහස් ගණනින් විරෝධතා පෙළපාළි පවත්වන්න වූහ. දල්වන ලද බැලූන ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට එවීම සිදුවූයේ ඉන්පසුවය.

ටෙල් අවීව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS