ඊශ්‍රායල ඇමෙරිකා තානාපති ධුරයේ වෙනසක්



ඊශ්‍රායලයේ නව ඇමෙරිකන් තානාපති ලෙස, වෝල් ස්ට්‍රීට් බැංකුකරුවකු මෙන්ම ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මූල්‍ය කටයුතු ප්‍රධානියා ලෙස ද කටයුතු කළ තෝමස් ආර්. නයිඩ්ස් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන තිබේ.

තෝමස් ආර්. නයිඩ්ස් ට තානාපති ධුරය හිමිවීමට නම් ඒ සඳහා ඔහුට ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතිය හිමිවිය යුතුය.
තෝමස් ආර්. නයිඩ්ස් ඇමෙරිකාවේ සිවුවැනි විශාලතම ආයෝජන බැංකුව ලෙස සැලකෙන, 'මෝගන් ස්ටැන්ලි' බැංකුවේ උප සභාපතිවරයා ද වෙයි. නයිඩ්ස්, ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මූල්‍ය කටයුතු ප්‍රධානියා ලෙස කටයුතු කළේ බැරැක් ඔබාමා පාලන සමයේය. ඔබාමා පාලන සමයේ ඇමෙරිකා උප ජනාධිපති ලෙස කටයුතු කළේ බයිඩන්ය.

නෙදන්යාහු පාලනය අවසන් වීමෙන් පසු, බයිඩන් පරිපාලනය, ඊශ්‍රායලයේ නව අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් සහ ඔහුගේ සන්ධාන රජය සමඟ අලුතින් සබඳතා ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. ඒ අනුව, ඊශ්‍රායලයට නව ඇමෙරිකන් තානාපතිවරයකු පත් කරන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS