‘හිලරිට රිදවන්න මට ඕනකමක් නෑ‘ - ඩොනල්ඩ් ට්‍රම්ප්



 (ඒ.එෆ්.පී/රොයිටර්)
හිලරි ක්ලින්ටන්ට රිදවීමේ කිසිදු අවශ්‍යතාවක් තමාට නැතැයි ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඞ් ප්‍රකාශ කරයි. ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ සටන පැවැති කාලයේදී ට්‍රම්ප් පවසා තිබුණි. 
ට්‍රම්ප් මෙම කරුණු සඳහන් කළේ  සී.බී.එස් නාලිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. 
“ඇය වැරැදි වැඩ කළා. එහෙත් ඔවුන් හොඳ මිනිස්සු. ඔවුන්ට හිරිහැර කිරීමට මට අවශ්‍ය නැහැ. මීළඟ අවස්ථාවේදී මම ඔබට නිශ්චිත හා විස්තරාත්මක පිළිතුරක් දෙනවා” යැයි එහිදි ට්‍රම්ප් හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් අදහස් දැක්වමින් පැවැසීය. 
එමෙන්ම සුළු ජාතිකයන්ට හා විරුද්ධවාදීන්ට හිරිහැර නොකරන ලෙස පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව ද ට්‍රම්ප් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු එක් වූ පළමු සම්මුඛ සාකච්ඡාවේදී පැවැසීය. 
“ලතින් ජාතිකයන්ට හා මුස්ලිම් ජාතිකයන්ට හිරිහැර වීම් සම්බන්ධයෙන් වාර්තා වුණා. මා ඒ ගැන කනගාටුවට පත්වෙනවා. එම නිසා ඔවුන්ට හිරි නොකරන්නැයි මා ඉල්ලා සිටිනවා” යැයි ඔහු කීවේය. 
ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් ජයගැනීමත් සමඟ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් කෝපයට පත්ව ඇතැයි ද සුළු ජාතීන්ගේ ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
එමෙන්ම හිලරි ක්ලින්ටන්ගේ පරාජයෙන් පසු වීදි බැස උද්ඝෝෂණවල නිරත වන පිරිසට චෝදනා එල්ල කළේය.
“අවස්ථා දෙක තුනක් වාර්තා වුණා. ඒවා ඉතා කුඩා සිදුවීම්. කලහාකාරී ලෙස හැසිරෙන්න එපා. මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මම මේ රට එකතු කරනවා. ඒ සඳහා සියලු දෙනා සහයෝගය අවශ්‍යයි” යැයි පැයක් පුරා පැවැති එම සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දක්වමින් ඩොනල්ඞ් ට්‍රම්ප් පැවසීය. ඩොනල්ඞ් ට්‍රම්ප් ලබන ජනවාරි 20 වැනිදා ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට නියමිතය.

RECOMMEND POSTS