‘ස්ටෙලා’ ඇමෙරිකාව කලඹයි



ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය සහ ඊට යාබද ජනපද හරහා හමා යන ප්‍රචණ්ඩ හිම කුණාටුවක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමෙරිකන් බලධාරීහු කටයුතු කර ඇත.

කාලගුණ විද්‍යාඥයන් විසින් ‘ස්ටෙලා’ යනුවෙන් නම් කළ මෙම හිම කුණාටුව ඇමෙරිකාවේ නැගෙනහිර ප්‍රාන්ත හරහා හමා යෑමට පටන්ගෙන ඇත්තේ පැයට කිලෝ මීටර් 96 ක වේගයකිනි. කනෙනිකට් සිට නිව්ජර්සි දක්වා ප්‍රධාන පෙළේ ඇමෙරිකන් නගර සහ ජනපද රැසකට හිම කුණාටුවෙන් බලපෑම් එල්ල විය.

ගුවන් ගමන් 8,600 කට වැඩි ප්‍රමාණයක් අත්හිටුවීමටත්, පාසල් වසා දැමීමටත් බලධාරීන් තීරණය කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. නිව්යෝක්, බොස්ටන්, බෝල්ටිමෝර්, වොෂින්ටන් සහ පිලිඩෙල්ෆියා යන නගරවල ගුවන්තොටුපොළ සියල්ල වසා දැමුණි. මේ නිසා දහස් ගණනින් ගුවන්තොටුපොළවල කොටුවුණු අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ද බලධාරීහු කටයුතු කළහ.

නිව්යෝක් නුවරට පමණක් අඩි දෙකකට වැඩි හිම පතනයක් පතිත වුණැයි ද වාර්තා වේ. හිම පතනය හේතුවෙන් මාර්ග අවහිර වී, ගමනාගමන කටයුතුවලට බාධාවක් එල්ල වී ඇත.

හිම කුණාටුවත් සමඟ නගර රැසක විදුලි සැපැයුම්වලට ද බාධා එල්ල විය. දහස් ගණනක් දෙනා ඉන් දැඩි අපහසුතාවට ලක්වුණැයි ද වාර්තා විය. කාලගුණ බලධාරීන් පවසා ඇත්තේ, කුණාටුව පහව යන තුරු හැකිතාක් නිවෙස්වලට වී සිටින ලෙසටය.

(රොයිටර්)


RECOMMEND POSTS