ෆුකුෂිමා බලාගාරයේ විෂ මුහුදට මුදා හැරීමේ තීරණයක්



මීට වසර 10 කට පෙර, ප්‍රබල භූමි කම්පාවකින් හානි වූ ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ඇති විකිරණ අපද්‍රව්‍ය සහිත ජලය ටොන් මිලියන ගණනක් ඉදිරි වසර කිහිපය ඇතුළත මුහුදට මුදා හැරීමට ජපන් රජය තීරණය කර තිබේ.

ජපාන රජය ගත් මෙම තීරණයට චීනය, දකුණු කොරියාව පමණක් නොව තායිවානය ද සිය විරෝධය පළ කර ඇත. ජපානය ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ජලය මුහුදට මුදා හරින්නේ ඒවා යළි යළිත් පිරිසුදු කර විෂ හරණය කරමිනි.

කෙසේ නමුත් ඇතැම් පිළිකා කාරක විෂ සංඝටක එසේ පිරිසුදු කළත් ජල අංශු අතරේ රැඳී පවතින බව විකිරණ සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ අදහසය.

චීනය, දකුණු කොරියාව සහ තායිවානය ජපානයට විරෝධය පළ කරන්නේ, ජපානය එම අපවිත්‍ර ජලය මුහුදට මුදා හැරියොත් එහි බලපෑම එම රටවලට ද එල්ල වන බැවිනි. මේ අතර ෆුකුෂිමා පළාතේ ධීවරයන් ද රජය ගත් මෙම තීරණයට දැඩි විරෝධයක් දක්වා ඇතැයි ද පැවැසෙයි.

රික්ටර් පරිමාණයේ ඒකක 9 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් දෙදෙරා ගිය ජපානයේ ෆුකුෂිමා පළාතේ පිහිටි ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට සුනාමියක් ද කඩා වැදුණේ 2011 මාර්තු 11 වැනිදාය. න්‍යෂ්ටික බලාගාරයට දරුණු ලෙස හානි සිදුවුණු අතර විකිරණ කාන්දුවීමට ද පටන් ගත්තේය. ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අයත් වන්නේ ටෝකියෝ විදුලි බල මණ්ඩලයටය.

බෝපාල්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS