ෆිදෙල් කස්ත්‍රෝට ට්‍රම්ප් දොස් කියයි



 
කියුබානු සමාජවාදී නායක ෆිදෙල් කස්ත්‍රෝ කියුබානු වැසියන් පීඩාවට පත් කළ, කුරිරු, ආඥාදායක පාලකයකු යැයි ඇමෙරිනාවේ මීළඟ ජනාධිපතිවීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරයි.
ට්‍රම්ප් මෙසේ චෝදනා කළේ අභාවප්‍රාප්ත කොමියුනිස්ට් නායකයා වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි. ‘ෆිදෙල් කස්ත්‍රෝ වීරයෙකු නොවේ. ඔහු කියුබානු ජනතාව පීඩාවට පත් කළ කුරිරු පාලකයෙක්. ඔහු ඉතිහාසයට එක් වන්නේ ඒ විදියටයි’ යැයි ට්‍රම්ප් නිකුත් කළ එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ට්‍රම්ප් ජනපති වෙද්දී ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත්වන මයික් පෙන්ස් ද ෆිදෙල් කස්ත්‍රෝ ආඥාදායකයකු යැයි හඳුන්වා දී ඇත.
ඇමෙරිකාව සහ කියුබාව අතර, දශක ගණනාවකට පසු යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී තිබේ. ඒ, වත්මන් ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමාගේ පරිපාලනය ඒ වෙනුවෙන් කැපවී නම්‍යශීලීව කටයුතු කළ නිසාය. 
එසේ සබඳතා තර වෙද්දී, කියුබාව තම ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කිරීමටත්, කියුබාවට පනවා තිබුණු ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ඉවත් කිරීමටත් ඔබාමා පියවර ගත්තේය. ඇමෙරිකාව සහ කියුබාව යළි මිතුරු වෙද්දී, 90 හැවිරිදි ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය සිදුවීම දෛවෝපගත සිදුවීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ශෝක පණිවුඩයක් නිකුත් කරමින් වත්මන් ජනාධිපති ඔබාමා පවසා ඇත්තේ, ෆිදෙල් කස්ත්‍රෝ ගැන තීරණයක් ගැනීම ඉතිහාසයට බාර කරන බවය. කෙසේ නමුත් ජනපති ඔබාමා, ට්‍රම්ප් මෙන් ෆිදෙල් කස්ත්‍රෝ විවේචනය කළේ නැත.
රාජකීයයකු නොවන ලොව වැඩිම කලක් රටක් පාලනය කළ රාජ්‍ය නායකයා ලෙස ෆිදෙල් කස්ත්‍රෝ සැළකෙයි. ඔහු බලයට පත්වූයේ 1959 වසරේදීය. අයහපත් සෞඛ්‍ය හේතුවෙන් ඔහු බාල සොහොයුරා රාවුල්ට බලය පවරා දුන්නේ 2008 දීය.

RECOMMEND POSTS