ෆයිසර් එන්නත මිලදී ගන්න බය වෙන්න එපා



තමන් නිපදවූ 'ෆයිසර්' ප්‍රතිශක්තිකරණ එන්නත සාර්ථක බවත් අතුරු ආබාධ අවම බවත් පෙන්වා දෙමින් ඇමෙරිකාවේ 'ෆයිසර්' ඖෂධ නිෂ්පාදන සමාගම ඉන්දියාවට පවසා ඇත්තේ එය මිලදී ගැනීමට පසුබට නොවන බවය.

'ෆයිසර්' සමාගම මෙසේ පැවැසුවේ, ඉන්දීය රජය විදෙස් එන්නත් මිලදී ගැනීමට යොමු වී ඇති බැවිනි. ඉන්දියාව විදෙස් එන්නත් මිලදී ගැනීමට යොමු වී ඇත්තේ, එරට දේශීය එන්නත් නිෂ්පාදන කටයුතු අඩපණ වී ඇති බැවිනි.

ඉන්දියානුවන්ට ලබා දීම සිදුවන්නේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත සහ භාරත් බයෝටෙක් 'කොවැක්සින්' එන්නතය. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත නිපදවීම සිදු කරන්නේ පූනේ නුවර සේරම් ආයතනයයි. 'කොවැක්සින්' යනු සියයට සියයක් ඉන්දීය නිෂ්පාදනයකි.

ඉන්දියාවේ දිනපතා 'කොවිඩ් 19' ආසාදිතයන් ලක්ෂ 3 ඉක්මවා වාර්තා වෙද්දී, ඉන්දීය රජය එරට එන්නත්කරණ වැඩසටහන පුළුල් කළේය. ඒ අවුරුදු 18 වැඩි වැඩිහිටි සැමට එන්නත් ලබා දීම ආරම්භ කරමිනි. ඒ අනුව මේ වනවිට ඉන්දියාවේ එන්නත් හිඟයක් පවතී. සේරම් ආයතනයට හෝ භාරත් බයෝටෙක් සමාගමට හෝ ඉල්ලුමට සරිලන ආකාරයට එන්නත් ලබා දීම ගැටලුවක් වී ඇත.

ඉන්දියාව රුසියාවෙන්, එරට ගැමලේයා ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති 'ස්පුට්නික් 5' එන්නත මිලදි ගත් අතර, එම එන්නතේ පළමු මාත්‍රා තොගය පසුගිය පළමු වැනිදා ඉන්දියාවට ලැබුණි. ඉදිරි සති කීපය ඇතුළත 'ස්පුට්නික් 5' එන්නත ඉන්දියානුවන්ට ලබා දීමට නියමිතය.

ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම, 'ෆයිසර්' එන්නත ඉන්දියාවට විකිණීමට සූදානම් වන්නේ ජපානය හරහාය. 'ෆයිසර්' එන්නත් ජපාන ඖෂධ නිෂ්පාදනාගාරවල නිෂ්පාදනය සිදු කරයි. 'ෆයිසර්' සමාගම 'ෆයිසර්' එන්නත නිර්මාණය කර ඇත්තේ ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සමාගම සමඟ හවුලේය. මෙම එන්නත සියයට 95 ක් සාර්ථක අතර, ගැටලුව නම් එන්නත ගබඩා කිරීමට අධි ශීතකරණ අවශ්‍යවීමය.

ඉන්දියාව තම එන්නත් මිලදී ගන්නේ නම්, ඒවා කල්තබා ගැනීමට අවශ්‍ය අධිශීතකරණ සැපැයීමට ද තමන් සූදානම් බව ෆයිසර් සමාගම ඉන්දීය රජයටත් එරට ඖෂධ පාලන අධිකාරියටත් දැනුම් දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දුන් එන්නත්වලින් එකක් ලෙස 'ෆයිසර්' සැලකෙයි. ඇමෙරිකානුවන් වැඩි දෙනකුට ලබා දී ඇත්තේ මෙම එන්නතය. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ට ලබා දී ඇත්තේ ද 'ෆයිසර්' එන්නතය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS