ළැව් ගිනි කාලගුණය විපරිත කරලා



විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  ඕස්ටේ‍්‍රලියාවේ හෙක්ටයාර් මිලියන 13 ක් පුරා ළැව් ගිනි පැතිරෙන බවය. බ‍්‍රසීලයට අයත් ඇමසන් වනාන්තරයේ පැතිරුණු එම ළැව් ගිනි මෙන් 6 ගුණයක ප‍්‍රමාණයක්  ඕස්ටේ‍්‍රලියාවේ ළැව් ගිනි පැතිරෙයි.  ඕස්ටේ‍්‍රලියාවේ ළැව් ගිනි අභ්‍යවකාශයට පවා පැහැදිලිව පෙනෙන බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ඕස්ටේ‍්‍රලියාවේ ළැව් ගිනි නිසා මේ වනවිට විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය වී ඇත. ජගත් කාලගුණ විද්‍යාඥයන් ප‍්‍රකාශ කළේ, කාලගුණ අනාවැකි කීමට ඔවුන් සකස් කළ පරිගණක දත්ත සැකසුම් පවා අවුල් වී ඇති බවය.  ඕස්ටේ‍්‍රලියා ළැව් ගිනි දුමාරය අසල්වැසි නවසීලන්තය තෙක් පැතිර ගොස් අවසන් ය.

නවසීලන්තයේ උතුරු දිවයිනට ළැව් ගිනි දුමාරයෙන් බලපෑම් එල්ල විය. නවසීලන්තයේ අහස ද රතු පැහැයක් ගෙන ඇති බවත්, මූසල අඳුරු ස්වභාවයක් ගන්නා බව ගණන් බලා ඇති අන්දමට  ඕස්ටේ‍්‍රලියාවේ සතුන් මිලියන 480 ක් ළැව් ගිනි නිසා මියගොසිනි.  ඕස්ටේ‍්‍රලියාව මහද්වීපයකි.  ඕස්ටේ‍්‍රලියාවට පමණක් ආවේණික සතුන් බොහොමයකි. අහස අහිමි යෝධ කුරුල්ලා එමූ, කෝලා වළසා, කැංගරු, වොම්බැට්, ප්ලැටිපස් ආදිය  ඕස්ටේ‍්‍රලියාවේ පමණක් ජීවත් වන සතුන්ය. ඇතැම් සත්ව විශේෂ ළැව් ගිනි හේතුවෙන් සදහටම ලොවෙන් සමුගෙන ඇති බව  ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය. නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ කෝලා වළසුන් ගහණයෙන් තුනෙන් එකක් මුළුමනින්ම විනාශ වූ බව ද පැවැසිණි. වියලි කාලගුණය සහ වියලි සුළං හේතුවෙන් ළැව් ගිනි පාලනය කිරීමට නොහැකි අයුරින් පැතිර ගියේය. මීටර් 70 ක් පමණ උස ගිනිදැල් සමඟ ගිනි නිවන භටයන්ට සටන් වැදීමට සිදුවිය.

ඕස්ටේ‍්‍රලියාවේ ළැව් ගිනි පැතිරෙන්නේ පසුගිය සැප්තැම්බරයේ පටන්ය. ළැව් ගිනි හේතුවෙන් රටේ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවේදී  ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් සිටියේ පවුලේ අය හවායි දුපතේ නිවාඩුවකට ගොසිනි. මොරිසන්ට  ඕස්ටේ‍්‍රලියානු වැසියන්ගෙන් විරෝධයක් එල්ල වෙද්දී ඔහු කඩිනමින් ආපසු පැමිණියේය. එම සිදුවීමෙන් පසු, ළැව් ගිනි හේතුවෙන් විපතට පත් අසරණ  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ‘තරහා’ පිටවූයේ අගමැති මොරිසන් පිටිනි.

ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 23 කි. තවත් බොහෝ දෙනකු අතුරුදන් බව ද පැවැසෙයි. නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ කොබාර්ගෝ නගර වැසියෝ ළැව් ගිනිවලින් පීඩාවට පත් වූහ. නගරයට සිදුවුණු හානිය මෙන්ම නගරය අවට පැතිරෙන ළැව් ගිනි සමඟ ගිනි නිවන භටයන් ගෙන යන සටන නිරීක්ෂණයට අගමැති මොරිසන් ගියේය. එහිදී නගර වැසියන්ගෙන් මොරිසන්ට එල්ල වූයේ අප‍්‍රසාදයකි. නිවාස අහිමි බොහෝ දෙනකු අගගමැතිවරයාට බැණ වදින්න වූ අතර, ඔහුට අතට අත දීම පවා ප‍්‍රතික්ෂේප කළේය.

ඕස්ටේ‍්‍රලියා පුවත්


RECOMMEND POSTS