හිලරි ක්ලින්ටන්ට එරෙහිව නීතිමය පියවරක් ගන්නේ නෑ: ට්‍රම්ප් කියයි



 

 

 (රොයිටර්)
ඇමෙරිකන් ජනාධිපතිවරණ සටනේදී, තම ප්‍රතිවාදියා වූ ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන්ට එරෙහිව, නීතිපති මගින් නඩු පැවැරීමක් සිදු නොකරන බව ජනපතිවරණයෙන් ජයගෙන, ජනපති ධුරයට පත්වීමට නියමිතව සිටින රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කළේ යැයි ඔහුගේ ප්‍රකාශකයෙක් ඊයේ (23) මාධ්‍ය හමුවේ පැවැසීය.
ඔබාමාගේ පළමු ධුර කාලයේ රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළේ හිලරි ක්ලින්ටන් ය. ඊමේල් අවභාවිතයක් සම්බන්ධයෙන් සහ ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් හිලරිට චෝදනා එල්ල විය. සෙනෙට් කමිටුවක් හමුවේ විශේෂ පරීක්ෂණ පවා පැවැත්විණි. ඊට අමතරව චෝදනා සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී එෆ්.බී.අයි. පරීක්ෂණ ද පැවැත්විණි. හිලරි ක්ලින්ටන්ට සෙනෙට් මණ්ඩලයක් හමුවේ වගඋත්තර බැඳීමට ද සිදුවිය. අවසානයේදී එල්ලවුණු එම චෝදනා සම්බන්ධයෙන්, ‘හිලරි කිසිදු වරදක් සිදුකර නොමැති බව’ එම සෙනෙට් කමිටුව සහ එෆ්.බී.අයි. කාර්යාංශය පසුව පැවැසීය. කෙසේ නමුත් හිලරි මෙවර ජනපතිවරණයෙන් පරාජයට පත්වූයේ එම චෝදනා හේතුවෙන් බව පැහැදිලි යැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
ජනපතිවරණ රැළිවලදී ට්‍රම්ප් දිගටම කියා සිටියේ හිලරි ක්ලින්ටන් ඇමෙරිකාවට ද්‍රෝහියෙකු වුණු බවත් ඇය සිදු කළැයි පැවැසෙන වැරදි සම්බන්ධයෙන් නීතිපති මාර්ගයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා, හිලරිට සිර දඬුවම් ලබා දීමට කටයුතු කරන බවත්ය. 
ඇමෙරිකානු නව රජයේ නව නීතිපති ලවා, හිලරි ක්ලින්ටන්ට එරෙහිව නඩු පැවැරීමට ට්‍රම්ප් යම් හෙයකින් උත්සාහ කළේ නම් ධුරයෙන් සමුගැනීමට පෙර ඔබාමා, සිය ජනපති බලතල පාවිච්චි කර, එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිලරි ක්ලින්ටන්ට ‘ජනපති සමාවක්’ ලබා දීමට කටයුතු කරනු ඇති බව බොහෝ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ විශ්වාසය වී තිබුණි.

RECOMMEND POSTS