හිටපු අගමැති මාස දෙකෙන් එළියට



මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් දස වසරක සිරදඬුවමක් ලැබ සිටි පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ් ඇපමත මුදා හැරීමට ඉස්ලාමාබාද් මහාධිකරණය ඊයේ (19) නියෝග කළේය.

නවාස් ෂරීෆ් පමණක් නොව, මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් හත් වසරක සිර දඬුවම් නියම වී සිටි, ඔහුගේ දියණිය මර්යාම් ද ඇප මත මුදා අධිකරණය නියෝග කළේ යැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කර ඇත.

හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ දියණිය මර්යාම්ගේ සිර දඬුවම් අත්හිටුවීම සහ ඇප මත නිදහස ලබා දීම සිදුවූයේ ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අභියාචනාවක් සැලකිල්ලට ගනිමිනි.

නවාස් ෂරීෆ් සහ දියණිය එම අභියාචනාව හරහා පෙන්වා දී ඇත්තේ තමන් කිසිදු වරදක් සිදු කර නැති බවත්, තමන් දේශපාලන පළිගැනීමකට ලක් වුණු බවත්ය. නවාස් ෂරීෆ්ගේත් දියණිය මර්යාම්ගේත් සිරදඬුවම් අත්හිටුවීමට සහ දෙදෙනා මුදා හැරීමට ඉස්ලාමාබාද් මහාධිකරණය තීන්දු කළේ ඒ අනුවය.

ඒ අනුව නවාස් ෂරීෆ් සහ දියණිය මෙසේ මුදා හරිනු ලබන්නේ සිරදඬුවම් නියම වී මාස දෙකකට පසුවය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS