හමුව දේශසීමාවේ



උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ යුද මුක්ත කලාපයේදී එකිනෙකා හමුවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඊයේ (1) කැමැත්ත පළ කළහ.

උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ යුද මුක්ත කලාපයේ දී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට තමන් කැමැති බව  පළමුවෙන් යෝජනා කළේ ට්‍රම්ප්ය. ඔහු ඒ බව ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු, උතුරු කොරිය තරුණ නායක කිම් ජොන් උන් ඊට කැමැත්ත පළ කළේය.

ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර හමුව පැවැත්වෙන්නේ කොතැනදැයි යන්න සම්බන්ධයෙන් පසුගිය දිනවල කසුකුසුවක් පැවැත්විණි. එය කොරියාවට ඔබ්බෙන් මුහුද මැද යුද නැවකදී සිදුවනු ඇතැයි ද අනුමාන කෙරුණි. ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර හමුව, සිංගප්පූරුවේදී පැවැත්වීමට ද අදහසක් පැවැති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි.
කෙසේ නමුත් ඉකුත් සිකුරාදා (27) උතුරු කොරියා නායකයා සහ දකුණු කොරියා ජනාපති මූන් ජේ ඉන් අතර දේශසීමාවේ යුද මුක්ත කලාපයේ පැවැති හමුව අතිශය සාර්ථක විය. ඒ අනුව, ට්‍රම්ප් ද කැමැත්ත පළ කළේ යුද මුක්ත කලාපයේ දී උතුරු කොරියා නායකයා හමුවීමටය.

උතුරු කොරියාව ඔවුන්ගේ පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම කළේ 2006 වසරේදීය. ඇමෙරිකාව ප්‍රමුඛ ඇමෙරිකාවට හිතවත් බටහිර රටවල්, ‘හිතුවක්කාර’ අන්දමින් කළ එම න්‍යෂ්ටික පිපිරීම් සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් විරෝධය දැක්වීය. ඒ සමඟම උතුරු කොරියාව එරෙහිව සම්බාධක පැනැවීම සිදුවිය.

ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (නිත්‍ය සාමාජිකයන් වන්නේ ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය, රුසියාව සහ චීනයයි) එක්වී, වට නවයක සම්බාධක පැනැවීමකට කැමැත්ත දුන්නේය. එම සම්බාධකවලින් ද වැඩි ප්‍රමාණයක් යෝජනා කළේ ඇමෙරිකාවය.

2006 වසරේදී, මූලික වශයෙන් බර අවි, මිසයිල තාක්ෂණය සහ සුඛෝබෝගී භාණ්ඩ සම්බන්ධයෙන් උතුරු කොරියාවට සම්බාධක පනවා තිබුණු අතර, වසර 2017 වෙද්දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් පමණක් නොව, කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් මෙන්ම උතුරු කොරියානුවන්ට විදේශවල රැකියා කිරීම සම්බන්ධයෙන් ද සම්බාධක පැනැවීමක් කර තිබේ. විදේශගත උතුරු කොරියානුවන් සිටී නම්, ඔවුන් වහා උතුරු කොරියාවට පිටුවහල් කෙරුණි.

ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වීමෙන් පසුව ද ඇමෙරිකාව උතුරු කොරියාවට සම්බාධක පැනැවීය. ඒ, ට්‍රම්ප් ජනපති ධුරයට පත් වීමත් සමඟ උතුරු කොරියාව, ඇමෙරිකාවට පහර දෙනවා යැයි තර්ජනය කරමින් දිගටම දිගුදුර මිසයිල අත්හදා බැලීම හේතුවෙනි. උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ‘පිස්සු බල්ලකු’ යැයි කියද්දී, ජනපති ට්‍රම්ප් උතුරු කොරියා නායකයාට විහිළු කරන්න වූයේ ‘රොකට් මිනිසා’ කියාය. ඒ, ඔහු මිසයිල අත්හදා බැලීම් කිරීම නිසාය.

උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් කළා පමණක් නොව, ජලකර බෝම්බ දෙකක් ද සාර්ථකව අත්හදා බැලුවේය. උතුරු කොරියාවට බලපෑම් කරන්නැයි ජනපති ට්‍රම්ප් චීනයෙන් ඉල්ලීමක් කළේය. උතුරු කොරියාවේ අසල්වැසියා චීනයයි. චීනය සමඟත් චීන ජනාධිපති ෂී ජින්පින් සමඟත් උතුරු කොරියාව යහපත් සබඳතා පවත්වයි. උතුරු කොරියාවේ මිසයිල වැඩසටහනටත් න්‍යෂ්ටික වැඩසටහනටත් රහසේ සහාය දෙන්නේ චීනය යැයි ද පැවැසෙයි. උතුරු කොරියාව සියයට 90 ක් වෙළෙඳ ගනුදෙනු කරන්නේ ද චීනය සමඟය. කෙසේ හෝ උතුරු කොරියාවට සම්බාධක පැනැවීමට ට්‍රම්ප්, චීන ජනාධිපතිවරයා කැමැති කර ගත්තේය. ඒ අනුව, උතුරු කොරියාවට චීනයෙන් සම්බාධක පැනැවිණි. දීර්ඝකාලීන එකම මිතුරා චීනය, උතුරු කොරියාවට හරස්වීම, උතුරු කොරියාවට අතුල් පහරක් වුණැයි පැවැසිණි.

සීත ඔලිම්පික් උලෙළ දකුණු කොරියාවේ පැවැත්වූයේ මෙම අවස්ථාවේදීය. ජනාධිපති මූන් ජේ ඉන් දකුණු කොරියා ජනපති ධුරයට පත් වූයේ පසුගිය 2017 වසරේදීය. ඔහු ජනපති ධුරයට පත්වූයේ ද උතුරු කොරියාව සමඟ පවතින අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා දෙන බවට ඡන්ද පොරොන්දුවක් දෙමිනි. ජනපති මූන් ජේ ඉන්, පසුගිය පෙබරවාරියේ පැවැත්වුණු සීත ඔලිම්පික් උලෙළට උතුරු කොරියාවට ඇරැයුම් කළේය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් එම ඇරැයුම එකපයින් පිළිගත්තේය.

කිම් ජොන් උන් නියෝජනය කරමින්, ඔහුගේ බාල සොහොයුරිය මෙන්ම, ප්‍රධාන උපදේශිකාව ද වන කිම් යෝ ජොංග් ඇතුළු උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට දකුණු කොරියාවට පැමිණීමට අවශ්‍ය විය. ඒ, ඔලිම්පික් උලෙළට සහභාගීවීම සඳහාය. කෙසේ නමුත්, ජගත් සම්බාධක හේතුවෙන් එය කළ නොහැකි විය. මෙහිදී දකුණු කොරියානු රජය, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස්ගෙන් ඉල්ලීමක් කළේ, උතුරු කොරියා නියෝජිත පිරිසට දකුණු කොරියාවට පැමිණෙන්න අවසර දෙන ලෙසටය. එම අවසරය හිමිවුණු අතර, දකුණු කොරියාවට පැමිණි කිම් යෝ ජොංග් සහ දකුණු කොරියා ජනපති අතරේ සුහද හමුවක් පැවැත්විණි. සීත ඔලිම්පික් උලෙළට උතුරු සහ දකුණු කොරියාව සහභාගී වූයේ ‘කොරියාව’ ලෙස එකමුතු වෙමිනි.

සීත ඔලිම්පික් හරහා දෙරටේ සබඳතා වර්ධනය වෙද්දී, ඔලිම්පික් උලෙළින් පසු උතුරු කොරියා නායකයාගේ ආරාධනාවකට දකුණු කොරියානු නියෝජිත පිරිසක් උතුරට ගියහ. ඔවුන්ට උතුරු කොරියා නායකයාගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. තමන් දකුණු කොරියා ජනපති මූන් ජේ ඉන් හමුවී සාකච්ඡා පවත්වන්න කැමැති බව පවසා කොරියන් සාම සමුළුවක් පැවැත්විය යුතු යැයි යෝජනා කළේ ද කිම් ජොන් උන්ය.

එම හමුවෙන් පසු දකුණු කොරියා ජාතික ආරක්ෂක උපදේශක චංග් ඉයු යොංග් ඇතුළු විශේෂ දූත පිරිසක් ඇමෙරිකාවට ගොස් ධවල මන්දිරයේ දී ජනපති ට්‍රම්ප් හමුවිය. ‘පොඞ්ඩක් මෙහෙට එන්නැයි’ ට්‍රම්ප්ට පවසමින්, උතුරු කොරියා නායකයා කළ ආරාධනාව, චංග් ඉයු යොංග් ට්‍රම්ප්ට පැවැසීය. ඒ, මුහුණට මුහුණ හමුවක් පැවැත්වීම සඳහාය. චංග් ඉයු යොංග් මෙම ආරාධනාව ට්‍රම්ප්ට පමණක් සෘජුව පැවැසුවේ, එම අවස්ථාවේ ට්‍රම්ප් අසල සිටි ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන්, රජයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඊට විරෝධයක් එල්ල වේවි යැයි සිතූ නිසා යැයි ද පැවැසෙයි. උතුරු කොරියා නායකයාගේ ඉල්ලීම ට්‍රම්ප් බොහොම සතුටින් පිළිගත්තේය. ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර හමුවට මඟ පෑදුණේ එලෙසය.

(රොයිටර්)


RECOMMEND POSTS