හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක්



නව කොරෝනා වයිරසය කොමියුනිස්ට් චීන ඉතිහාසයේ විශාලතම හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වය යැයි එරට නායක ෂී ජින්පින්ග් ඉරිදා ප්‍රකාශ කළේය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන්ගත් නව කොරෝනා වයිරසය ‘‘කොවිඩ්-19’’ යනුවෙන් නම් කර තිබෙන අතර එය මේ වනවිට රටවල් 25කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබේ.

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා මේ වනවිට ගෝලීය සටනක් ක්‍රියාත්මක වන අතර චීනයට අමතරව තවත් රටවල් රැසක් ද දැඩි පියවර ගෙන ඇත.

මීට දින කිහිපයකට පෙර නගර වසා දමමින් පූර්ණ නිරෝධායන ක්‍රියාවලි ක්‍රියාත්මක කරන ලද්දේ චීනය පමණක් වුවත් මේ වනවිට ඉරානය සහ ඉතාලිය පාසල්, විශ්ව විද්‍යාල, සංස්කෘතික මධ්‍යස්ථාන යනාදිය වසා දමමින් නගර සීල් තබමින් එම රටවල නගර සම්පූර්ණයෙන් නිරෝධායනය කිරීම ආරම්භ කර තිබේ.

ඉතාලියෙන් සහ ඉරානයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ (24) වනවිට වේගයෙන් ඉහළ ගිය අතර දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද 600 ඉක්මවා ගියේය.

ඉරානයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යෑමත් සමඟ අසල්වැසි රටවල් වන පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් දේශසීමා වසා දැමීමට ද පියවර ගත්හ.

කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන 2,400 ඉක්මවා ගොස් තිබෙන අතර 80,000 කට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වී තිබේ.

‘‘1949 මහජන චීනය ආරම්භයෙන් පසු ඇති වූ විශාලතම හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වය මෙය’’ යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් ඊයේ පැවැසීය.

‘‘මෙය විශාල අර්බුදයක්. ඒ වගේම එය විශාල පරීක්ෂණයක්’’ යැයි රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් චීන ජනාධිපතිවරයා කීවේය.

සිය අඩුපාඩු ලෙහෙසියකට පිළිනොගන්නා රටක් ලෙස ප්‍රකට චීනය ඊයේ එසේ අඩුපාඩු පිළිගත්තේය. කොරෝනා වයිරසයට එරෙහි සටනේදී සිදු වූ අඩුපාඩුවලින් ඉගෙන ගත යුතු බව ද ෂී ජින්පින්ග් එහිදි කීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනය කොරෝනා වයිරසයට එරෙහිව ගෙන යන සටන ඇගයීමට ලක් කළත් වයිරසය පිළිබඳ අනතුරු ඇඟවූ වෛද්‍යවරයා නිහඬ කිරීමට බලධාරීන් ගත් උත්සහාය හේතුවෙන් චීනයට දොස් අහන්නට ද සිදුවිය. බොහෝදෙනා චීනයේ ක්‍රියා පිළිවෙත විවේචනය කළ අතර වයිරසය පිළිබඳ මුලින්ම අනතුරු ඇඟවූ එම වෛද්‍යවරයා වයිරසය ආසාදනය වීමෙන් මිය ගියේය.

කොරෝනා අවදානම් මට්ටම ඉහළම මට්ටමට එසෙවීමට දකුණු කොරියාව ද ඊයේ (24) පියවර ගත්තේය. ඉරිදා වනවිට දකුණු කොරියාවේ කොරියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් 602ක් දක්වා වර්ධනය විය.

මේ වනවිට චීනයෙන් පිටත වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ දකුණු කොරියාවෙනි. මීට පෙර චීනයෙන් පිටත වැඩිම කොරෝනා වයිරසය ආසාදිතයන් පිළිබඳ වාර්තා වූයේ ජපානය අසළ නැංඟුරම්ලා තිබෙන ‘ඩයමන්ඩ් ප්‍රන්සෙස්’ නෞකාවෙනි. එම නෞකාව මේ වනවිට සම්පූර්ණ නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ.

ඉරිදා පමණක් කොරෝනා වයිරසය හේතුවෙන් තුන්දෙනකු මියගිය අතර ඒ අනුව දකුණු කොරියාවෙන් වාර්තා වූ සම්පූර්ණ පහක් විය. කෙසේ නමුත් කොරෝනා වයිරසය නිසා දකුණු කොරියාවේ මරණ හයක් සිදුව ඇතැයි එරට යොන්හැප් පුවත් සේවය පසුව වාර්තා කළේය.  

බීජිංහිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS