සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ට්‍රම්ප්ට ඉක්මන් සුව පතයි



නව කොරෝනා වයිරසය ආසාදනය වූ ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ඉක්මන් සුව ප්‍රාර්ථනා කර ඇත.

තමන්ට සහ ජනාධිපති ආර්යාවට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (2) සඳහන් කළේය.

ජනාධිපති ට්‍රම්ප් මද අසනීප තත්ත්වයක් පෙන්නුම් කර ඇති නමුත් ඔහු ඉතා හොඳින් පසුවන බව අද පස්වරුවේදී මාධ්‍යවේදීන් අමතමින් ධවල මන්දිර කාර්යමණ්ඩල ප්‍රධානී මාර්ක් මෙඩෝව්ස් පැවැසීය.

ජනාධිපතිවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ ධවල මන්දිර කාර්යමණ්ඩලය ‘කොවිඩ්-19’ පරීක්ෂණවලට යොමු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීනයේ හුබයෙි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් නව කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය මාස දහයකට ආසන්න කාලයේදී ලොව පුරා මියගිය ගණන මේ වනවිට මිලියනය ඉක්මවා ගොස් ඇත.

වයිරසය ආරම්භය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් දැක්වූ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් මුල් තැනක් ගත්තේ ය.

වයිරසය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශ කළ අතර මුඛ ආවරණ පැළැඳීමද ප්‍රතික්ෂේප කළේය.

නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් චීනයට චෝදනා කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ අතකොළුවක් වී ඇතැයි ද දොස් නැගීය.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමට ද ඇමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගත්තේය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS