සූ කී නිදහස් කරන්න: ඇමෙරිකාව කියයි



අත්අඩංගුවට ගත් මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී වහා නිදහස් කරන්නැයි ඇමෙරිකාව මියන්මාර හමුදා පාලකයන්ට පවසා ඇත.

මියන්මාර හමුදාව ඊයේ (1) කුමන්ත්‍රණයක් ආරම්භ කරමින්, එරට බලය අත්පත් කර ගත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ප්‍රමුඛ ඇගේ ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ’ පක්ෂ නායකයන්, මියන්මාර මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනකු අත්අඩංගුවට ගනිමිනි.

හමුදාව මෙම පිරිස අත්අඩංගුවට ගනිමින් රටේ බලය අත්පත් කර ගත්තේ, පසුගිය නොවැම්බරයේ පැවැති මහ මැතිවරණය දූෂිත බවට චෝදනා නගමිනි. පසුගිය 2020 නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණු මියන්මාර මහ මැතිවරණයෙන් සියයට 60 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේ සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයයි.

ඡන්ද ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන මියන්මාර හමුදාව චෝදනා කරන්නේ හොර ඡන්ද දැමීමක් සිදුවී ඇති බවටය. ඊයේ (1) අලුයම කාලයේ සූ කී ඇතුළු පිරිස අත්අඩංගුවට ගැණුනේ ඒ අනුවය. ඇමෙරිකා රජය වෙනුවෙන් එරට නව රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කෙන් මියන්මාර හමුදා පාලකයන්ට දන්වා ඇත්තේ නොබෙල් සාම ත්‍යාගලාභිනියක වන 75 හැවිරිදි සූ කී ඇතුළු අත්අඩංගුවට ගත් සෙසු පිරිස කඩිනමින් නිදහස් කරන ලෙසටය.

ඇමෙරිකාව තවමත් මියන්මාරය හඳුන්වන්නේ ‘බුරුමය’ යන පැරැණි නාමයෙනි. ‘අප බුරුම හමුදා පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා, අවුන් සාන් සූ කී වහා නිදහස් කරන්න. පසුගිය නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණු මියන්මාර මහ මැතිවරණයේ ප්‍රතිඵලය පිළිගන්නැයි ද අප ඉල්ලීමක් කරනවා’ යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කර තිබේ.
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී බලහුවමාරුවට ඉඩ නොදෙන්නේ නම් එම පිරිස්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මියන්මාර හමුදා පාලකයන්ට අනතුරු ඇඟවීම් කර තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS