සූ කී අධිකරණය හමුවට



මියන්මාර හමුදා අත්අඩංගුවේ පසුවන එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී, යැංගොන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

නායිකා සූ කී අධිකරණය හමුවේ පෙනී සිටියේ, වීඩියෝ තාක්ෂණය ඔස්සේය. පසුගිය පෙබරවාරි 1 වැනිදා සිදුවුණු හමුදා කුමන්ත්‍රණයෙන් පසු තමන්ට නායිකා සූ කී, දකින්න ලැබුණු පළමු අවස්ථාව මෙය යැයි ඇගේ නීතීඥවරු පැවැසූහ.

නීතිවිරෝධී ආකාරයට ‘වෝකි ටෝකි’ සන්නිවේදන උපකරණ ළඟ තබා ගැනීම සහ මියන්මාර වැසියන් ‘කුපිත කිරීම’ ආදී චෝදනා අවුන් සාන් සූ කීට එල්ල වී තිබේ.

පසුගිය පෙබරවාරි පළමු වැනිදා සිදුවුණු එම හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මියන්මාරයේ යැංගොන් නුවරත් නායිපායිදේව් අගනුවරත් දිගටම විරෝධතා පැවැත්වෙයි.

හමුදාව සහ පොලිසිය විරෝධතාකරුවන් දැඩි ලෙස මර්දනය කරන බවත්, පසුගිය දා පොලිසිය හල්ල කළ වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 18 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.

යැංගොන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS