සී.අයි.ඒ ඔත්තුකරුවන් 20 ක් 2010 - 2012 දී මරලා !



සිය රට තුළ රහස්‍ය තොරතුරු රැස්කරමින් සිටි CIA ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ ඔත්තුකරුවන් 20 කට ආසන්න පිරිසක් 2010 සිට 2012 දක්වා කාලය තුළ චීන බලධාරීන් විසින් මරා දමා හෝ සිරගත කරනු ලැබ ඇති බව නිව්යෝක් ටයිම්ස් (New York Times) පුවත්පත පවසයි.

එමගින් චීනය තුළ සිට රහස් තොරතුරු රැස්කිරීමේ ඇමෙරිකානු වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමට චීන බලධාරීන් සමත් වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

සීඅයිඒ ආයතනයේ වෙබ් අඩවියට රහසිගතව ඇතුළු වී ඔවුන් පිළිබඳ තොරතුරු සොයාගත්තේද, නොඑසේනම් තමන්ගේම ඔත්තුකරුවෙකු චීන බලධාරීන්ට ඒ පිළිබඳව කරුණු හෙළි කළේද යන්න පැහැදිලි නැති බවත් ඇමෙරිකානු බලධාරීහු පවසා තිබේ.

අනෙක් ඔත්තුකරුවන්ට අනතුරු ඇඟවීමක් ලෙසින් ආණ්ඩුවේ කාර්යාල පරිශ්‍රයකදී එක් ඔත්තුකරුවෙකු ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමා ඇති බවත් බලධාරීහු සඳහන් කළහ.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාව පිළිබඳව සීඅයිඒ ආයතනය කිසිදු ප්‍රතිචාරයක් පළ කර නැත.

තිළිණි ද සිල්වා
(බී.බී.සී. ඇසුරිනි)


RECOMMEND POSTS