සැඟවුණු බෞද්ධ ගම්මානය



ඉන්දියාවේ ඊසාන දෙසින් පිහිටි ඇසෑම් ප්‍රාන්තයේ මුල්ලක සැඟවුණු බෞද්ධ ගම්මානයකි. මේ ගම්මානය නාම්-ෆාකේ ය‍.

මෙම කුඩා ගම්මානට යෑමට නම්, තේ වතු පසු සහ සුන්දර වෙල්යායක් ද පසු කරමින්, හරිත වර්ණයෙන් පිරි උණ බට වනාන්තරයක් පසු කළ යුතුය. ගූගල් මැප් හරහා මඟ සොයා යනවා නම් එය තරමක අභියෝගයකි. හේතුව ගම්මානයට ළං වෙද්දී ඇත්තේ තාර දැමූ හෝ කොන්ක්‍රීට් මාර්ගයක් නොව, සුදු වැලි ඇතුරූ මාර්ගයකි.

මාර්ගය අවසන් වන්නේ රන් බුදු පිළිමයකින් යුත් පන්සලකිනි. මෙම පන්සල තායිලන්තයේ දැකිය හැකි ආකාරයේ එකකි‍. බැලූ බැල්මට ඉන්දියාවේ දසුනක් යැයි සිහියට නොනැගෙයි‍. පන්සලේ එක් පසෙකින් ඇත්තේ බූරී ඩිහිංග් නමැති ගංගාවය.‍

පන්සල සහ එම පන්සල අයත් කුඩා ගම්මානය පිහිටුවා ඇත්තේ වසර දහස් ගණනකට පෙර මෙහි පැමිණ පදිංචි වූ බුරුම සහ තායිලන්ත වැසියන්ය. බුරුමය අද හැඳින්වෙන්නේ මියන්මාරය ලෙසිනි. මේ බුරුම සහ තායිලන්ත වැසියන් අද ඉන්දියානුවන්ය. මොවුන්ගේ පරම්පරා ගණනාවක් මෙම ගම්මානයේ වාසය කරති. ඒ සැමගේ ජීවිත පන්සල සමඟ බැඳී පවතී.

කතා කරන භාෂාවෙන් පමණක් නොව, පෙනුමින් ද මෙම වැසියෝ ඉන්දියානුවෝ නොවෙති. මියන්මාර රජයෙන් පමණක් නොව තායිලන්ත රජයෙන් ද සෑම මාසයකට වරක් මෙම පන්සලටත් බෞද්ධ ගම්මානයටත්ආධාර ලැබෙයි.

සෑම වසරකම වෙසෙක් පොහොයට පන්සල සහ ගම්මානය ඒකාලෝක වෙයි. විශේෂ පිංකම් රැසක් ද පැවැත්වෙයි. ඇසෑම් ප්‍රාන්ත රජයෙන් ඊට අනුග්‍රහය හිමිවෙයි. ඊට අමතරව, මියන්මාරයෙන් මෙන්ම තායිලන්තයෙන් ද බැතිමත්හු මෙහි පැමිණෙති.

‘ද වීක් සඟරාව ඇසුරිනි’


RECOMMEND POSTS