සාමයට උදැල්ල දාන්නේ නෑ



උතුරු කොරියාව සහ දකුණු කොරියාව සාමය සඳහා කැප වී කටයුතු කරන්නේ නම්, ඇමෙරිකාව කිසිම අවස්ථාවක ඊට අකුල් නොහෙළන බවත්, අවශ්‍ය සෑම අයුරින්ම සහාය දක්වන බවත් ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය අවධාරණය කරයි.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව, දකුණු කොරියාවේ මේ වනවිට පැවැත්වෙන සීත ඔලිම්පික් උලෙළ මුල්කර ගනිමින්, යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සාහ දරයි.

සීත ඔලිම්පික් උලෙළට උතුරු කොරියාව සහ දකුණු කොරියාව ඉදිරිපත් වී සිටින්නේ එක් රටක් ලෙස ‘කොරියාව’ යන නමිනි. උතුරු කොරියාව සහ දකුණු කොරියාව මෙසේ එකමුතු කිරීමටත්, දෙරට අතර සුහඳත්වය වර්ධනය කිරීමටත් හේතුවක් වුණු මෙම ඔලිම්පික් උලෙළ ‘සාමයේ ඔලිම්පික්’ උලෙළ ලෙස දේශපාලන විශ්ලේෂකයන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

උතුරු කොරියාවත්, දකුණු කොරියාවත් අතර යහපත් සබඳතා නිර්මාණය වූයේ උතුරු කොරියානු රජය නියෝජනය කරමින්, එරට නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් ජෝ යංග් ඇතුළු නියෝජිතයෝ පිරිසක් දකුණු කොරියාවට පැමිණීමත් සමඟය.

ක්‍රීඩා උලෙළ සමාරම්භක අවස්ථාවට සමගාමීව එම පිරිස සහ දකුණු කොරියානු රජයේ නියෝජිතයන් අතර ‘සාම කතා’ පැවැත්විණි.

ඔලිම්පික් උලෙළ සමාරම්භක අවස්ථාවට, විශේෂ ආරාධිත අමුත්තකු ලෙස දකුණු කොරියාවේ මිතුරා වන ඇමෙරිකාව නියෝජනය කරමින් ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහ බිරිය සහභාගී වූහ.  සමාරම්භක උලෙළ නැරැඹීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් ජෝ යංග් අසුන් ගෙන සිටියේ උප ජනාධිපති මයික් පෙන්ස් සහ බිරිය කැරන්ට පසුපසිනි.

උතුරු කොරියානු බලධාරීන් මඟ හැර යෑමට ඇමෙරිකා උප ජනපතිවරයා සහ ඇමෙරිකන් නියෝජිත පිරිස කටයුතු කළේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි.

ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස්, උතුරු කොරියා නියෝජිත පිරිස ‘ගණන් නොගෙන’ ඔවුන්ට මුහුණ නොදී, මඟ හැර යෑම රිපබ්ලිකන් පමණක් නොව ඩිමොක්‍රටික් පාක්ෂික ඇමෙරිකානුවන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව සමඟි කිරීමට ඇමෙරිකාවට කිසිදු උනන්දුවක් නැති බවටත්, ඇමෙරිකාව දේශපාලන වාසියට කටයුතු කරන බවටත් චෝදනා එල්ල වී තිබේ. කෙසේ නමුත් ට්‍රම්ප් පරිපාලනය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS