සම්මාන නොදුන්නැයි ඉන්දීය ජනපතිට දොස්



ඉන්දීය කලාකරුවන් දිරිමත් කරමින්, ඔවුන් ඇගයීමට ලක් කෙරන  ඉන්දීය ජාතික සිනමා සම්මාන උලෙළ නවදිල්ලි අගනුවරදී පැවැත්වුණු අතර, ඊට බොහෝ කලාකරුවන්ගෙන් දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.

ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය සැමවිටම සිදුවන්නේ ජනාධිපතිවරයා අතිනි. වර්තමානයේ ඉන්දීය ජනාධිපතිවරයා වන්නේ රාම් නාත් කෝවින්ද් ය.

වසර 64 ක එම සම්ප්‍රදාය බිඳ දමමින් මෙවර ජනාධිපති කෝවින්ද් විසින් පිරිනැමීම සිදු කරනු ලැබුණේ සම්මාන 11 ක් පමණි. ඉතිරි සම්මාන 80 පිරිනැමීම සිදු කළේ ඉන්දියාවේ ජනප්‍රිය ටෙලි නිළියක මෙන්ම, වත්මන් ප්‍රවෘත්ති සහ සන්නිවේදන කටයුතු පිළිබඳ ඇමැතිනිය ලෙස කටයුතු කරන ස්මිරිති ඉරානි විසිනි.

ජනාධිපතිවරයා විසින් පිරිනැමිය යුතු සම්මාන සන්නිවේදන ඇමැති විසින් පිරිනැමීම කලාකරුවන් බොහෝ දෙනකුගේ දැඩි විරෝධයට හේතු විය. එහෙයින්, උත්සවයට පැමිණ සිටි කලාකරුවන් බොහෝ දෙනකු නැගිට ගිය බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

මේ අතර මීට මාස කිහිපයකට පෙර හදිසියේ අභාවප්‍රාප්ත වුණු බොලිවුඞ් නිළි රැජින ශ්‍රී දේවිට ද ගෞරව සම්මානයක් හිමිවිය. ඒ, ඇය අවසන් වරට රංගනයෙන් එක්වුණු ‘මාම්’ බොලිවුඞ් චිත්‍රපටය වෙනුවෙනි. ‘මාම්’ චිත්‍රපටයේ ශ්‍රී දේවි රංගනයෙන් දායක වූයේ සමූහ දූෂණයට ලක්වන දියණියකගේ මවක ලෙසිනි.

ශ්‍රී දේවි වෙනුවෙන් ඇගේ සැමියා බෝනී කපූර් සහ දියණියන් දෙදෙනා සම්මානය ගැනීමට පැමිණ සිටි අතර, ඔවුන්ට සම්මානය පිරිනැමුවේ ඇමැතිනිය ස්මිරිති ඉරානිය.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS