සමරිසි යුවලට වේවැල් පාර



මෝටර් රථයක් තුළ සම ලිංගික සේවනයේ යෙදීමට තැත්කිරීම හේතුවෙන් වරදකාරියන් කෙරුණු මැලේසියානු කාන්තාවන් දෙදෙනෙකුට ආගමික අධිකරණයකදී වේවැල් පහර දී තිබේ.

තෙරෙන්ගානු (Terengganu) ප්‍රාන්තයේ පිහිටි ෂරියා මහාධිකරණයේදී, වයස අවුරුදු 22 ක් සහ 32 ක් වූ මුස්ලිම් කාන්තාවන් දෙදෙනා හට එක් තැනැත්තියකට වේවැල් පහර හය බැගින් දෙනු ලැබීය.

මෙය සමලිංගික සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රාන්තය තුළ දඬුවම් පැමිණ වූ හා ප්‍රසිද්ධියේ වේවැල් පහර දෙන ලද පළමු අවස්ථාව බව නිලධාරියෙක් පැවසීය.

මැලේසියාවේ ද ස්ටාර් (The Star) පුවත් සේවයට අනුව, මෙම වේවැල් පහර දීම සියයකට වැඩි පිරිසක් නැරඹුහ.

අනන්‍යතාවය හෙළි නොකළ කාන්තාවන් දෙදෙනා තෙරෙන්ගානු ප්‍රාන්තයේ පොදු චතුරශ්‍රයක මෝටර් රථයක් තුළ සිටියදී පසුගිය අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගැනිණි. ඉස්ලාමීය නීතිය උල්ලංඝණය කළ බවට පසුගිය මාසයේ වරද පිළිගත් එම කාන්තාවන් දෙදෙනාට වේවැල් පහර සහ රිංගිට් 3,300 ක (ඩොලර් 800) දඩයක් නියම විය

මැලේසියාව වඩාත් මධ්‍යස්ථ මුස්ලිම් බහුතරයකගෙන් සමන්විත රාජ්‍යයක් ලෙස සලකුණද, මෑතක සිට ආගමික මතවාද උත්සන්න වීමක් දක්නට ලැබේ.

පසුගිය අගෝස්තු මාසය මුලදී, සමරිසි ක්‍රියාකාරීන්ගේ ඡායාරූප මහජන ප්‍රදර්ශනයකින් ඉවත් කරන ලෙස රජයේ ඇමතිවරයෙක් නියෝග කර තිබිණි.

මැලේසියාවේ ද්විත්ව නීති ක්‍රමයක් ක්‍රියාත්මක වන අතර, ඒ අනුව, මුස්ලිම් ජනයා තමන්ගේ විවාහය වැනි පුද්ගලික කාර්යයන්හිදී ෂරියා හෝ ඉස්ලාමීය නීතියට අනුව කටයුතු කළයුතු අතර, අනෙක් ආගම් අදහන පුද්ගලයන් සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කළ යුතුය

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS