වෙඩි තැබීම ගැන පරීක්ෂණ කටයුතු දිගටම



ඇමෙරිකාවේ ලස්වේගාස් නුවර එළිමහන් සංගීත ප්‍රසංගයට එල්ලවුණු වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසයි.

පරීක්ෂණ සඳහා ලස් වේගාස් පොලිසිය, ස්වොට් පොලිස් බළඇණි, එෆ්.බී.අයි. කාර්යාංශය සහ ඇමෙරිකාවේ ගිනි අවි අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන ‘ඒ.ටී.එෆ්.’ කාර්යාංශයේ නිලධාරීහු ද එක් වී සිටිති.

වෙඩි ප්‍රහාරය හෙළා දකිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා නිහඬව සිටිමින් සෝව පළ කළහ. ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේ ට්‍රම්ප් ලස් වේගාස් නුවරට යෑමට ද සූදානමින් සිටි බවය.

වෙඩි ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකාවේ වේලාවෙන් පසුගිය පළමු වැනිදා රාත්‍රීයේ ලස් වේගාස් නුවර මැන්ඩලේ බේ හෝටලය සහ කැසීනෝවට ඉදිරියෙන් එළිමහනේ පැවැති සංගීත සැණකෙළියටය. ඇමෙරිකානු ගොපලු සංගීතයෙන් සංගීත සැණකෙළිය හැඬ ගැන්විණි.
සිදුවුණු මෙම වෙඩි තැබීම ඇමෙරිකන් ඉතිහාසයේ සිදුවුණු දරුණුතම සමූල ඝාතනය යැයි ආරක්ෂක අංශ විසින් හඳුන්වා දී ඇත. වෙඩි ප්‍රහාරයට හසුවී මියගිය ගණණ 59 ක් බවත් තුවාල ලැබූ ගණන 527 ක් බවත් බලධාරීහු කියති.

වෙඩි තැබීම කළේ ස්ටෙෆන් පැඩොක් නමැති 64 හැවිරිදි සුදු ජාතික ඇමෙරිකානුවෙකි. ඔහු කිසිදු මානසික ආතතියකින් හෝ ව්‍යාධියකින් පෙළෙන අයකු නොවන බවත්, මීට පෙර කිසිම අවස්ථාවක කිසිදු අපරාධයකට සම්බන්ධ අයකු නොවන බවත් පැවැසෙයි. පොලිසිය පවසන්නේ ස්ටෙෆන් පැඩොක් මාර්ග නීති උල්ලංඝනය සම්බන්ධයෙන් හෝ දඬ කොළයක් ලබා ගෙන නැති බවය.

ස්ටෙෆන් පැඩොක් වෙඩි තැබීම කළේ මැන්ඩලේ හෝටලයේ 32 වැනි මහලේ ඔහුගේ කාමරයේ සිටය. ඔහු හෝටල කාමරේ ජනේල වීදුරුව කඩා දමා වෙඩි තැබුවේය.

වෙඩි ප්‍රහාරය පැමිණි ස්ථානය නිර්ණය කර ගැනීමට පොලිසියට අපහසු විය. කෙසේ නමුත් මැන්ඩලේ හෝටල කාමරයකින් වෙඩි ප්‍රහාරය එල්ල වන බව දැනගත් සැණින් ලස් වේගාස් පොලිසියේ ස්වොට් බළඇණිය වහා ක්‍රියාත්මක වී හෝටලට වට කළේය.

පසුව පොලිසිය කළ වෙඩි තැබීම්වලින් පැඩොක් ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා විය. පැඩොක් විශ්‍රාමික ගණකාධිකාරවරයෙකි. ඔහු කෝටිපතියෙකු බව ද පැවැසෙයි. ඔහු නෙවාඩා හි මෙස්කීට් නුවර කුඩා නිවසක පදිංචිව සිට ඇත. ඇමෙරිකන් ආරක්ෂක අංශ එම නිවස වටලා සෝදිසි කළ අවස්ථාවේ ගිනි අවි සහ උණ්ඩ තොගයක් හමුවිය. පැඩොක්ට ගිනි අවි බලබත්‍ර ඇති බව පොලිසිය සොයා ගෙන ඇත. ඔහු ගිනි අවි මිලදී ගෙන ඇත්තේ දඩයමේ යෑම සඳහා යැයි ද පැවැසෙයි.

පැඩොක්, මැන්ඩලේ බේ හෝටලයේ කැසීනෝවට ගොස් සූදු ක්‍රීඩාවේ නියැලී ඇති බවත්, එහිදී ඔහුට වාසනාව පෑදුණු බවත් පොලිසිය කළ පරීක්ෂණවලින් පසුව අනාවරණය විය.

පැඩොක් හෝටලයට පැමිණ නවාතැන් ගෙන ඇත්තේ මීට දින කිහිපයකට පෙරය. පැඩොක් සිය හෝටල කාමරයට ගිනි අවි 23 ක් රැගෙන විත් තිබුණු බවත් ඔහු වෙඩි තැබීමට යොදා ගෙන ඇත්තේ ස්නයිපර් තුවක්කු බවත් පොලිසිය පවසයි.

පැඩොක් මේ අයුරින් වියරු වැටී සමූල ඝාතනයක් කළේ කුමන හේතුවක් නිසාදැයි සිතා ගැනීමට පවා අපහසු බව පැඩොක්ගේ සොයුරා සහ ඥාතීහු පවසති. පැඩොක්ගේ පෙම්වතිය 62 හැවිරිදි මාරිලෝ ඩැන්ලි නමැත්තියයි. මේ වනවිට ඇය ජපානයට ගොස් සිටින්නීය. ඇය ද ඇමෙරිකන් ආරක්ෂක අංශවලට පවසා ඇත්තේ ස්ටීෆන් පැඩොක් උම්මතකයකු නොවන බවය. ඇමෙරිකාවට පැමිණි විගස මාරිලෝ ඩැන්ලිගෙන් කටඋත්තර ගැනීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ සූදානමින් සිටින බව ද පැවැසෙයි. පැඩොක් මීට පෙර විවාහ වී සිට ඇත. ඔහුගේ බිරිඳ වූයේ පෙගී නැමැත්තියයි. දෙදෙනා දික්කසාද වී ඇත්තේ මීට වසර 6 කට පෙරය.

ඇමෙරිකාවේ මීට පෙර මේ අයුරින් බිහිසුණු වෙඩි තැබීමක් වාර්තා වූයේ පසුගිය 2016 වසරේ ෆ්ලොරීඩා ජනපදයේ ඕලැන්ඩෝ ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවකය. එම වෙඩි තැබීමෙන් මියගිය ගණන 49 ක් විය.

මේ අතර ලස් වේගාස් නුවර වෙඩි තැබීම කළේ තම සංවිධානයේ සාමාජිකයකු විසින් සිදු කරනු ලැබූවක් යැයි අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් එම වෙඩි තැබීමේ වගකීම බාර ගෙන ඇත්තේ ඔවුන්ට හිතවත් වෙබ් අඩවි ඔස්සේය. කෙසේ නමුත් ස්ටෙෆන් පැඩොක් සහ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් අතරේ කිසිදු සම්බන්ධයක් තමන්ට දකින්න ලැබී නැතැයි එෆ්.බී.අයි. පරීක්ෂකයෝ කියති.

(ඒ.එෆ්.පී)

 


RECOMMEND POSTS