විමර්ශන කණ්ඩායමට චීන රජය හරස් වෙලා



‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සෙවීමට චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරට යෑමට බලා සිටින තම විශේෂ විමර්ශන කණ්ඩායමට, චීන රජයෙන් බාධා එල්ල වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා චෝදනා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් දස දෙනකු බැගින් සැදුම්ලත් විමර්ශන කණ්ඩායම් දෙකක් චීනයේ වූහාන් බලා යෑමට නියමිත සිටින අතර, ඊට පෙර විමර්ශන කණ්ඩායම් දෙක නියෝජනය කරමින්, නිලධාරීන් දෙදෙනකු චීනයට බලා ගිය බව පැවැසෙයි.

පෙරේදා (5) වාර්තා වූයේ එම නිලධාරීන් දෙදෙනාට චීනයට ඇතුළුවීමට චීන රජය තවමත් අවසර දී නැති බවය. චීන රජය එම නිලධාරීන් දෙදෙනාට රටට ඇතුළුවීමට ඉඩ නොදී ඇත්තේ කිසිදු හේතුවක් නොදක්වමින් යැයි ද පැවැසෙයි. තම නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා චීන රජයට අප්‍රසාදය පළ කර ඇත.

‘ලොවට මහා ව්‍යසනසයක් වූ කොවිඩ් 19 වයිරසයේ සුලමුල තවමත් අබිරහසක්. වයිරසයේ ආරම්භය ගැන චීනයට චෝදනා එල්ල වෙනවා. එහෙයින්, වයිරසයේ සුලමුල සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම අනිවාර්යයෙන් කළ යුතුමයි. එසේ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය බැඳී සිටිනවා. එම විමර්ශන කටයුතු අප කඩිනමින් කළ යුතුයි. කෙසේ නමුත් චීන රජය ඊට විරුද්ධ වන බවක් පෙනෙනවා.’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගෙබ්‍රියේසිස් වෙබ් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (5) පැහැදිලි කළේය.

වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින්, වයිරස ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේදී, ඒ සම්බන්ධයෙන් චීනයට දෝෂාරෝපණ එල්ල විය. ඒ, වයිරසය සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය අංශ සහ රජය ප්‍රමාණවත් තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දීමක් සිදු නොවුණු බව පෙන්වා දෙමිනි.

චීන රජයට අයත් වයිරස පර්යේෂණායතනය ඇත්තේ වූහාන් නුවර, වයිරස ව්‍යාප්තිය ආරම්භ වුණු මාළු වෙළෙඳ පොළට නුදුරිනි. දකුණු ආසියාවේ විශාලතම වයිරස ගබඩාව වන්නේ ද මෙයයි.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, මෙම පර්යේෂණාගාරයෙන් කාන්දු වූවක් බව ඇමෙරිකාව, ඕස්ටේ්‍රලියාව ඇතුළු රටවල් රැසක බුද්ධි අංශ චෝදනා කරයි.

එම චෝදනා චීන රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. චීනයේ කීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරනවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කර ඇති අතර, ට්‍රම්ප් ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගෙන ඇත්තේ ද මෙම චෝදනාව නිසාය.

වයිරස ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේදී වූහාන් යෑමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ශන කණ්ඩායමක් උත්සාහ කළත්, චීනයයෙන් ඊට අවසර හිමි නොවිණි. ඒ, වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවන හෙයින්, වූහාන් යෑම අනාරක්ෂිත නිසාය.

කෙසේ නමුත් අද වනවිට වූහාන් නුවර සෞඛ්‍ය බලධාරීන් ‘කොවිඞ් 19’ වයිරසය ඉතා සාර්ථකව මර්දනය කර තිබේ. වූහාන් නුවරින් කිසිදු ආසාදිතයකු වාර්තා වන්නේ ද නැත. වූහාන් වැසියන්, මෙම 2021 වසර පිළිගත්තේ මහ ඉහළින් නව වසර සමරමින්, එක් රොක් වී සතුටු වෙමිනි. වූහාන් නුවර ආරක්ෂාව තහවුරු වී ඇති බැවින් විමර්ශන කණ්ඩායම් දෙකක් නගරයට යැවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය යළි තීරණය කළේ ඒ අනුවය.

ජිනීවා නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS