විදේශිකයින්ට අවස්ථාවක්



වෙනත් රටවල වාසය කරන විදේශිකයින්ට පවා තම ආරක්ෂක හමුදාවලට එක්වීමට අවසර දීමට බ්‍රිතාන්‍ය රජය තීරණයක් ගෙන ඇතැය වාර්තා වේ.

මෙතෙක්, බ්‍රිතාන්‍ය හමුදාවලට එක්වීමට අවසර හිමි වූයේ, වසර 5 ක් එක්සත් රාජධානියේ වාසය කළ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල පුරවැසියන්ට පමණි.

එහෙත්, එරට යුද්ධ, නාවික සහ ගුවන් හමුදා සඳහා පිරිමින් සහ කාන්තාවන් වැඩි වශයෙන් බඳවා ගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් පෙර පැවති නීතිය ඉවත් කිරීමට එරට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මෙම වසර මුලදී නිකුත් කළ වාර්තාවකට අනුව බ්‍රිතාන්‍ය ආරක්ෂක හමුදාවල සෙබළුන් 8200 ක පමණ හිඟයක් පවතින බව අනාවරණය විය.

එරට ජාතික විගණන කාර්යාලය සඳහන් කළේ, එය 2010 වසරෙන් පසු වාර්තා වූ නරක ම හිඟය බවය.

ආරක්ෂක හමුදා සඳහා බඳවා ගැනීමේ නීතිවල වෙනස්කම් සඳුදා (05) නිවේදනය කිරීමට නියමිතය.

මේ අනුව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, කෙන්යාව සහ ෆීජි ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල පුරවැසියන් ද බ්‍රිතාන්‍යය තුළ ජීවත්ව නොසිටිය ද අදාළ තනතුරු සඳහා සලකා බැලෙනු ඇත.

බ්‍රිතාන්‍යය තුළ වාසය නොකරන එහෙත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල පුරවැසියන්ට 2016 වසරේ සිට වසරකට 200 දෙනෙකුට බැගින් රැකියා සඳහා අයැදුම් කිරීමට අවස්ථාව දැනට තිබේ.

නව නීති අනුව වසරකට බඳවා ගැනෙන විදේශිකයින් සංඛ්‍යාව 1350 කින් පමණ ඉහළ යනු ඇතැයි සැළකේ.

මෙම නීති සම්බන්ධයෙන් පළමු වරට වාර්තා කළ Daily Telegraph පුවත්පතේ පළ වූයේ, ගුවන් සහ නාවික හමුදාවලට මෙම නව නීති යටතේ වහා බඳවා ගැනීම් සිදු කෙරෙනු ඇති අතර, යුද්ධ හමුදාව සඳහා ලබන වසර මුලදී අයැදුම්පත් කැඳවනු ඇති බවය.

එහි දැක්වුණේ, පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් නොවන රටවල පුරවැසියන්ගේ අයැදුම්පත් භාර නොගන්නා බවය.

කෙසේ වෙතත්, විශේෂ නීති යටතේ අයර්ලන්තයේ පුරවැසියන්ට සහ නේපාලයේ ගුර්කා වැසියන්ට ද මේ සඳහා අයැදුම් කළ හැකිය

( තිළිණි ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි.


RECOMMEND POSTS