විදෙස් ඇමැති මැරුණැයි බොරු පුවත් ප්‍රසිද්ධ වෙලා



පාකිස්තාන විදේශ ඇමැති 64 හැවිරිදි ෂා මොහොමද් කුරේෂි, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ වයාජ පුවතක් සංසරණය වූ බව පාකිස්තාන රජය පවසා ඇත.

විදේශ ඇමැතිවරයා ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වූ නමුත් ඔහු යහතින් සිටින බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කළේය. පාකිස්තානයේ ‘ජියෝ නිවුස්’ පුවත් සේවය සමඟ වීඩියෝ තාක්ෂණයෙන් එක් වෙමින්, විදේශ ඇමැතිවරයා කියා සිටියේ අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් තමන් යහතින් සිටින බවය.

ෂා මොහොමද් කුරේෂි ‘කොවිඞ් 19’ ආසාදිතයකු යැයි හඳුනා ගැනීම සිදුවූයේ පසුගිය 3 වැනිදාය. එම අවස්ථාවේදී ඔහු රාවුල්පිණ්ඩි හමුදා රෝහලට යැවුණු අතර, එම රෝහලේ නිරෝධායනයට ලක් වී කුරේෂි ප්‍රතිකාර ලබමින් සිටී.
පාකිස්තානයේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් ගණන 2,43,600 ක් වන අතර, මරණ වාර්තා වන්නේ 5,058 ක් ලෙසය. පාකිස්තානයේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු ද කොරෝනා ආසාදිතයන් අතරේ සිටින බව වාර්තා වේ.

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS