වැඩි වාසි ජනපති ට‍්‍රම්ප්ට



රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් මැකේන්ගේ අභාවයෙන් පසු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට වැඩි වාසි අත්වී ඇතැයි ඇමෙරිකන් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

සෙනෙට් සභික මැකේන්, රිපබ්ලිකන් පක්ෂයේ ප‍්‍රබලයකු විය. 2008 වසරේ දී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූයේ ද මැකේන්ය. කෙසේ නමුත් ඔහු ඩිමොක‍්‍රටික් අපේක්ෂක බැරැුක් ඔබාමාට පරාජය විය.

රිපබ්ලිකන් පක්ෂය හරහා ට‍්‍රම්ප්ගේ තීන්දු සහ තීරණ විවේචනය කළ එකම ප‍්‍රබල චරිතය වූයේ ද මැකේන්ය. ට‍්‍රම්ප්ට එරෙහිව මැකේන් ගත් තීරණ සෙසු රිපබ්ලිකන් පාක්ෂිකයෝ පවා අනුමත කළහ. මැකේන්ගේ සමු ගැනීමත් සමඟ මේ වනවිට ට‍්‍රම්ප්ට නොබියව විරෝධය දැක්වීමට කිසිවකුවත් නොමැති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ට‍්‍රම්ප් සහ මැකේන් අතරේ මත ගැටුම් පැවැතිණි. මැකේන් අභාවප‍්‍රාප්ත වූයේ පසුගිය 24 වැනිදාය. ඒ, මොළයේ පිළිකා ගෙඩියක් හේතුවෙන් වසරකට ආසන්න කාලයක් රෝගීව සිටීමෙන් පසුවය. ජෝන් මැකේන් වියට්නාම යුද්ධයට සම්බන්ධ වුණු හමුදා සොල්දාදුවකු පමණක් නොව, කීර්තිමත් දේශපාලනඥයෙකි.

මැකේන්ගේ අභාවය හේතුවෙන් ධවල මන්දිරයේ ඇමෙරිකන් ධජය අඩකුඹු කිරීම පවා ට‍්‍රම්ප් ප‍්‍රතික්ෂේප කර තිබුණු අතර, ඔහු එසේ කිරීමට අණ කළේ අවසන් මොහොතේ යැයි ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS